පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් අද (30) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර ආසන්න වශයෙන් 200කට පමණ පිරිසකට මේ වන විට පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවට ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කරයි.
එමෙන්ම, මෙම පුද්ගලයා පසුගිය දිනවලදී ගොස් ඇති ස්ථාන හා සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු මේ වන විට අනාවරණය කර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව,
මෙම නිලධාරියා ලංකාපුර ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට, ආයුර්වේද රෝහලකට මෙන්ම බැංකුවකට පසුගිය දින වලදී ගොස් ඇති බව දැනට සිදුකර ඇති මුලික පරීක්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම නිලධාරියා සමග සමීපව ආශ්‍රය කළ බව කියන ඇතැම් ආශ්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක විසිරි සිටින බව ද ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කරයි. එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විට දැනුවත් කොට ඇති බව වැඩිදුරටත් ඔහු සඳහන් කරයි.
මෙම නිලධාරියා මිට දින කිහිපයකට ඉහත දී ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට ද සහභාගි වී ඇති අතර එහිදී ඔහු මියගිය පුද්ගලයාගේ භූමදානය සිදුකිරීමට අවශ්‍ය ස්ථානය සකස් කරන ස්ථානයට ද ගොස් එහි සිටි පිරිස් සමඟ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවට ද කරුණු හෙළිව තිබෙනවා. එම ස්ථානයේ පමණක් ඔහු හා සම්බන්ධ වූ ආශ්‍රිතයින් සංඛ්‍යාව 14 දෙනෙක් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදිත මෙම නිලධාරියා ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී පසුගිය දිනවල සාද පවත්වා ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සොයා මේ වන විට ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන මෙම පුද්ගලයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට දින දෙකකට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයක දී ය. මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වන අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්ව නොසිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
