පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අද (29) අලුයම පෞද්ගලික ආයතනයකට අයත් එතනෝල් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු වේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේය.
පෞද්ගලික මත්පැන් නිෂ්පාදනාගාරයකට අයත් එතනෝල් සහ මත්පැන් බෝතල් නීතිවිරෝධීව ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී මත්පැන් බෝතල් 50ක් සහ එතනෝල් ස්ප්‍රීතු බෝතල් 5ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ අනෙක් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා පමුණුගම පොලීසියට භාර දී ඇති බව සඳහන් වේ.
අදාළ චෝදනාවට මෙම සුරාබදු නිලධාරියා වරදකරු වුවහොත් ඔහුට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද කපිල කුමාරසිංහ වැඩිදුරටත් පැවසීය.
