පාර්ලිමේන්තු මැතිවරණය දිනෙන් දින උණුසුම් වෙද්දී පක්ෂ, පක්ෂ අතර මෙන්ම පක්ෂ වල අභ්‍යන්තරයේද උණුසුම් පරිසරයක් නිර්මාණය වී ඇත. ඒ අතුරින් එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව පක්ෂය බාර ගැනීම සඳහා දෙවන පෙළ නායකයන් රැසක් උනන්දු වන බව පෙනී යයි.
එහි මූලික ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන නවක අපේක්ෂකයන්ගෙන් පාර්ලිමේන්තු සටන ජයග්‍රහණය කරනු ලැබේ යැයි විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයන් පක්ෂය තුළ තම මතයට බිලී බා ගැනීමට තරම් ඉහත කී දෙවන ඉහල පෙලේ ඇතැම් නායකයන් ගේ උකුසු ඇස සහ තියුණු දේශපාලනික ඉව ක්‍රියාත්මක වී ඇත.
ඒ අනුව පසුගිය දිනක දී කොළඹ සිට මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල දක්වා පෞද්ගලික හෙළිකොප්ටරයකින් ගිය එක්සත් ජාතික පක්ශයේ රවී කරුණානායක විසින් මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක, බිබිල ප්‍රධාන ආසන සංවිධායක, පුන්සඳ මහකුඹුර ගේ මැතිවරණය කටයුතු වෙනුවෙන් සිය අනුග්‍රාහකත්වය දැක්වීමට කටයුතු කොට ඇති බව දේශපාලනික ආරංචි මාර්ග පෙන්වා දෙයි.
2015 වසරේ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව වෙත අනිවාර්යෙන්ම පත්වනු ඇති බවට විශ්වාසයක් තැබිය හැකිව තිබූ හේශා විතානගේ සහ කාවින්ද ජයවර්ධන යන නවක අපේක්ෂකයන් දෙදෙනාගේ සහය ලබාගැනීම වෙනුවෙන් ද මේ ආකාරයෙන්ම විශේෂ අනුග්‍රාහකත්වයක් දක්වා තිබූ බව ඒ කාලයේ කතාබහට ලක්වූ ප්‍රධාන කරුණක් විය.
සෑම දිස්ත්‍රික්කයකින්ම මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අවමය 5% ක් පමණ ලබාගත යුතු අතර ඉතා සුළු ජනගහනයක් වෙසෙන මොනරාගල දිස්ත්‍රික්කයට අදාළව මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම කඩඉම පසු කිරීමට හැකිවන බවටත් එහිදී පක්ෂය තුළ මනාප සටනේ ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු ලෙස පුන්සඳ මහකුඹුර හඳුනාගෙන සිටීමත් මේ ආකාරයෙන් විශේෂ අනුග්‍රහයක් ලැබීමට හේතු වූ බව පැවසේ.
– දේශපාලන වාර්තාකරු
