Advertise with Giraya
BUSINESS

ETF පොලිය අඩු වෙයි

සේවා නියුක්තියන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩුවී ඇත.

2018 වසරේ එම මුදල් සඳහා ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි අද (28) පැවසීය.

මේ අතර, එම අරමුදල බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පෙන්වා දෙමින් එහි වෘත්තිය සමිතියක් වන ඊ.ටී.එෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් ද යවා ඇත.

Giraya News Alerts

මෙම අරමුදල කඩාවැටීමකට ලක්ව ඇතැයි මේ වනවිට පැහැදිලිව පෙනී යන බැවින් ඉක්මණින්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ඊ ටී එෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමජිකත්වය ලක්ෂ 25 ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්ම වූ මුදලක් ඇති බවත් පෙන්වා දී ඇති එම සංගමය දැනට වසර 15 කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරි තනතුර පිරවීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.

මේ වන විට සාමාන්‍යධිකාරි තනතුර වෙනුවට ක්‍රියාත්මක අතිරේක සාමාන්‍යධිකාරි තනතුරට හෝ මූල්‍ය ක්‍ෂෙත්‍රයේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු පත්කර ඉක්මණින්ම අරමුදලේ කටයුතු ප්‍රතිසංවිධානය කරන්නට කටයුතු කරන්නැයි ද එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරින් කිහිපදෙනෙකු ද ආයතනය තුළ සිටින බැවින්, ඉතා ඉක්මණින් මෙම ආයතනය බේරාගැනීමට මැදිහත් විය යුතු යැයි ද ඊ.ටී.එෆ් රැකගැනීමේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම සංගමයේ සභාපති සාගර හේවාගමගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ පිටපත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විගණකාධිපතිවරයා, සේවා නියුක්තියන්ගේ අරමුදලේ සභාපතිවරයා මෙන්ම එහි සියලුම අධ්‍යක්ෂවරුන් වෙත ද යවා ඇත.

-Lankadeepa-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top