ශ්‍රී ලංකාවෙන් අද (27) උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ දී නව කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩි – 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම දොළොස්දෙනා අතරින් පස් දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ද, එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද, එක් අයෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු ද වේ. අනෙක් පුද්ගලයින් සිව් දෙනා කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
ඒ අනුව, දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 580 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයින්,
- පුනරුත්ථාපනය වන රැඳවියන් – 465
- කාර්ය මණ්ඩලය – 65
- ආරාධිත කාර්ය මණ්ඩලය – 05
- ළඟින් ඇසුරු කළ පුද්ගලයින් – 45
මේ අතර, ඊයේ (26) දින වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොරෝනා ආසාදිත රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට නියමිතව සිටි අයෙකු බව ද වාර්තා වේ. එසේම, වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට පෙර අදාළ රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව ද අනාවරණය වී ඇති අතර මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු නිලධාරීන් 200 ක් පමණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ඒ අනුව, අදාළ පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එමෙන්ම, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ වැලිකඩ බන්ධනාගාරයේ අදාළ රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ද ප්‍රතිකාර ලබාගෙන ඇති බැවින් එම රෝහලේ කාර්යය මණ්ඩලය ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.
