Advertise with Giraya
POLITICS

එජාප පාක්ෂිකයෝ කළකිරිලා ඉන්නේ, ඔවුන්ට අනාගතයක් නැහැ – විජිත හේරත්

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ජනතාව රටේ විශාල වෙනසක් බලාපොරොත්තු වූ නමුත් එය සිදු නොවූ බවත් එබැවින් ජනතාව දැන් කළකිරීමට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්‍ත්‍රී විජිත හේරත් පවසනවා. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ද නායකත්ව බල පොරය නිසා එම පක්ෂයට ද අනාගතයක් නොමැති බැවින් පාක්ෂිකයෝ කළකිරී ඇති බවත් ඔහු පවසනවා. එම හේතුව නිසා, පක්ෂ දෙකේම විශාල පාක්ෂිකයින් පිරිසක් වත්මනෙහි මාලිමාව සමඟ එක් වී සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.

විජිත හේරත් මේ බව සඳහන් කර තිබුණේ ‘මව්බිම’ පුවත්පතට මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින්ය. එම පුවත්පතෙහි පළ කර තිබූ සම්පූර්ණ වාර්තාව මෙසේ ය.

  • මැතිවරණයට තව සති දෙකක්වත් නෑ. මේ වන විට ජාතික ජන බලවේගයට තිබෙන ප්‍රතිචාර කොහොමද?

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විශාල බලාපොරොත්තුවක හිටියා වෙනසක් වෙයි කියලා. නමුත් ගෙවුණු මාස 8ට ඒ බලාපොරොත්තු වූ දේවල් සුනුවිසුනු වෙලා ගියා. ඒ ඡන්දෙ දීපු ඡන්දදායකයෝ විශාල පිරිසක් ඉන්නවා අප සමඟ එක් වුණු. අනෙක් පැත්තෙන් එජාපය අද දෙකට කැඩිලා. කැඩිච්ච ඒ වගේ කෑලි පතුරු ගැහිලා ගිහින්. එජාප පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ මේ නායකත්ව බලපොරය නිසා. ඔවුන්ට අනාගතයක් නෑ. ඒ නිසා ඒ දෙපැත්තෙම කලකිරුණු විශාල පිරිසක් මාලිමාව එක්ක එකතු වෙමින් ඉන්නවා.

  • ඔබ ගම්පහ ජනතාවගෙන් ඡන්දය ඉල්ලනවා. ගම්පහ ජනතාව වසර 20ක් ඔබ පාර්ලිමේන්තුවට යැව්වා. ඔබ මොනවද ඔවුන්ට කරලා තියෙන සේවය?

ශ්‍රී ලනිපයේ, එජාපයේ, අපේ පක්ෂයේ සාමාජිකයෝ ඡන්දෙ දුන්නා. ඒ ජනතාවගේ විශ්වාසය මං කවදාවත් පලුදු කරලා නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් මට්ටමෙන් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපේ මැදිහත්වීමෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ මන්ත්‍රි ධුරය පාවිච්චි කරලා වැලි ගොඩදාලා නෑ. පස් කපලා නෑ. බාර් ලයිසන් අරගෙන නෑ. කුඩු බිස්නස් කරලා නෑ. කප්පම් අරගෙන නෑ. සල්ලිවලට මන්ත්‍රිකමින් එහෙට මෙහෙට පැනලා නෑ. ගම්පහ දිස්ත්‍රික් ජනතාවට තමන් දීපු ඡන්දයේ ගරුත්වය මම ඒ කාලය පුරාවටම ආරක්ෂා කරලා තියෙනවා. ජනතා විශ්වාසය උපරිමයෙන් රැකලා තියෙනවා.

  • පසුගිය කාලෙදී පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග වැනි කාරණාවලදී වූ හැසිරීම්වලට ඔබ වෙත විවිධ විවේචන එල්ල වෙනවා. ඒ විවේචන එක්ක ගම්පහ ජනතාවට ඔබ කෙරේ විශ්වාසයක් තියෙනවාද?

විශ්වාසය තවත් වැඩිවෙලා. යුක්තිය නීතිය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා වැඩකරන කොට ඊට එරෙහිව නිර්භීතව මැදිහත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිති ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වුණා. නීති විරෝධී කුමන්ත්‍රණකාරී දේවල් පරද්දන්න ඉහළින්ම මැදිහත් වුණා. ඒකෙන් වුණේ ඒ විශ්වාසය තවත් දෙගුණ තෙගුණ වුණා.

ජවිපෙට ඡන්ද නොදා ඉන්න ප්‍රබල චෝදනා නොතිබුණත් රටේ ඡන්දය ඉතිහාසයේ සිට භාවිත කළ සිස්ටම් එකක් තිබෙනවා. විවිධ විශ්ලේෂකයෝ පෙන්වා දෙන පරිදි විශේෂයෙන් ජවිපෙට ප්‍රබල අභියෝගයක් ඇස් ඉදිරිපිට තිබෙනවා. යම් හෙයකින් ඔබව ගම්පහ ජනතාව පාර්ලිමේන්තුවට තෝරාපත් නොකළහොත් ඉදිරි දේශපාලන ගමන කුමක් වෙයිද?

පළමු දේ අනිවාර්යයෙන් මාව පාර්ලිමේන්තුවට පත් වෙනවා. අපේ බලය මාලිමාවේ බලය දෙගුණ තෙගුණ කරනවා. 3% කතාව මේ ඡන්දයට වලංගු නෑ. අනෙක් පැත්තට අපි ජනතාව කෙරේ විශ්වාසය තියෙන පක්ෂයක්. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින පක්ෂයක්. ඒ නිසා ඔය කියන තත්ත්වය ඇතිවෙන්නේ නෑ. ජනතාව කියන්නේ මාලිමාවෙ ඔබලා පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෑ අය. ඔබලා හිටියොත් තමයි මේ දෙගොල්ලගෙම හොරකම්, දූෂණ අඩුම තරමේ හෙළිදරව් වෙන්නේ. නැතිනම් මේ දෙගොල්ලම එකතු වෙලා රට කනවා කියලා.

  • ඔබට හිතෙන්නේ නැද්ද ජවිපෙ හැමදාම රටේ පාලකයෝ ආණ්ඩු පක්ෂ, වංචා, දූෂණ ගැන පමණක්ම විවේචන එල්ල කර සිටීම තුළයි පක්ෂය සැලකිය යුතු මට්ටමකට ඡන්දෙදි ප්‍රතික්ෂේප වන්නේ කියලා?

මේ වෙලාවේ අපිට භාර දෙන්න රටත් ජනතාවත් රකින්න. අපිට බලය දුන් දවසට අපි මේ රට හදලා පෙන්වනවා. අපි මීට පෙර අමාත්‍යාංශ භාරගෙන රට හදන්නේ කොහොමද කියලා ඔප්පු කරලා තියෙනවා. මේ වෙලාවේ ඡන්දෙ දෙන්නේ රට රකින්න නම් අපි ඒ වගකීමත් ඉටු කරනවා.

  • සරත්චන්ද්‍ර මායාදුන්නේ, ක්‍රිෂ්මාල් වැනි මහත්වරු ඉවත් කළ ආකාරයටම මෙවරත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පරාජිතයන්ට දෙනවාද?

ඉවත් කළා නෙමේ ස්ව කැමැත්තෙන් ඉවත් වුණා. දෙවැනි එක ජාතික ලැයිස්තුවෙන් අපි වඩාත්ම සුදුසු පුද්ගලයා පාර්ලිමේන්තුවට යවනවා. ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ පූර්ව එකඟතාවක්, සම්මුතියක් තියෙනවා.

  • විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදීත් ජවිපෙ සිදුකරන්නේ ඇත්ත ජන ගැටලු කෙරේ පෙනී සිටිනවාට වඩා විපක්ෂයේ කොන්ත්‍රාත්තු ඉටු කිරීම, ඔවුන්ට අවැසි ප්‍රකාශ සිදු කිරීම බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. ඇත්තටම ඔබලාට අවශ්‍ය රාජපක්ෂලා පරාජය කිරීමද?

මේ පක්ෂ දෙක තමයි අවුරුදු 72ක් රට පාලනය කළේ. රට මේ අගාධයට වැට්ටුවේ මේ දෙගොල්ලෝ. ඒ නිසා අපිට ඕනෑ මේ දෙගොල්ලම පරාජය කරලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. ජනතාවාදී පාලනයකට රට ගෙනියන්න. අපි ඉටු කරන්නේ ජනතාවගේ කොන්ත්‍රාත්තුවක් මිස කාගෙවත් කොන්ත්‍රාත්තුවක් නෙවේ.

  • එජාපය හා සමගි ජන බලවේගය කණ්ඩායම් දෙකක් ලෙස මෙවර මහ මැතිවරණයටත් ඉදිරිපත් වෙන්නේ. මේ බෙදීම තුළ ජවිපෙ ඡන්ද ප්‍රතිශතය පහත වැටෙන බවටත් ගණන් බැලීම්වලදී ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබෙනවා. එහි සැබෑ තත්ත්වය කෙසේද දකින්නේ?

එකක් තමයි සජිත් හෝ රනිල් කණ්ඩායම් දෙකේ ප්‍රතිපත්තිමය වෙනසක් නෑ. ප්‍රශ්නය තිබෙන්නේ නායකත්වය බල අරගලයක් පමණයි. ඒකෙන් අපේ ඡන්ද පදනමට කිසිම බලපෑමක් නෑ. සිද්ධ වෙන්නේ අපි කෙරේ මහජනතාවට තව තවත් විශ්වාසයක් වර්ධනය වීම පමණයි. දේශපාලන විශ්ලේෂකයෝ කියන්නේ දැන් රටට නව බලවේගයක් ඕනෑ කියලා. ඒ බලවේගය තමයි ශ්‍රී ලනිපයත්, එජාපයත්, ජවිපෙත් ඉන්න ඇත්ත මිනිස්සු එකතු වෙච්ච ජාතික ජන බලවේගය.

  • පවතින තත්ත්වය එක්ක කවුද අපේක්ෂකයෝ කියන කාරණය ගම්වල 50%ක් දැනුවත් නැහැ. එය ජවිපෙ වැනි පක්ෂයකට ඉතා අවාසි සහගතයි නේද?

ප්‍රචාරක යාන්ත්‍රණයට කොරෝනා වසංගතය හින්දා යම් අභියෝගයක් අපිට තියෙනවා. නමුත් අපි ඒ නව අපේක්‍ෂකයන් හා කණ්ඩායම සියලු දෙනාම ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ යාන්ත්‍රණයක් ආරම්භ කර තිබෙනවා. අලුත් අපේක්ෂකයෝ හඳුන්වාදීමේ වැඩසටහන් පවා අපි ජනතාව අතරට ගෙනයමින් තිබෙනවා.

  • තවත් කාරණයක් කොරෝනා පාලිත තත්ත්වය යටතේ ඡන්ද ගණන් කිරීම පසුදිනට කල්දාලා. ඔබට මැතිවරණ සම්බන්ධ බොහෝ අත්දැකීම් තියෙනවා. ඒ ගැන සැකයක් නැද්ද? මොකද අපේ රටේ මැතිවරණ ඉතිහාසය පිරිසුදු නෑ?

කොරෝනා තත්ත්වය තවම පහවෙලා නෑ. දෙවැනි රැල්ලකුත් මතු වුණා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශවලට යටත් වෙන්න අපිට සිද්ධ වෙනවා. අපිට සැකයක් තිබුණා වුණත් මේ තත්ත්වයට විරුද්ධ වෙන්න හැකියාවක් නෑ. ඒ නිසා ඒ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව ඡන්ද ගණන් කරන එකට මුහුණ දෙන්න වෙනවා එය යථාර්ථය බව පිළිගනිමින්.

  • එම සෞඛ්‍ය නිර්දේශ සහිත ගැසට් පත්‍රය නිකුත් කළා. එහි අඩංගුව කොහොමද දකින්නේ. සාධාරණද ප්‍රායෝගිකද?

ගැසට් එක ගැහුවට වැඩක් නෑ. ඒක නිකම් හබලක් නැති ඔරුවක් වගේ. ඒක ක්‍රියාත්මක කරන්න නිසි බලධාරියෙක් පත් කර නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ බලය පවරා නෑ. ඇත්තටම මේ කරලා තියෙන්නේ ජාම බේරාගන්න ගැසට් එකක් ගැහුවා විතරයි. කොරෝනා නීති කඩලා දැන් ආණ්ඩු පක්ෂයේ අය ඡන්දය පවත්වනවා. ඒක කිසි තේරුමක් නැති පුස් වැඩක්. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වීමක් නෑ. මේ ගැසට් එකෙන් කොරෝනා නීති රීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් පත් නොකිරීම බරපතළකාරී ගැටලුවක්.

එතකොට යම් කිසි තැනක නීති විරෝධීව රැස්වීම් පැවැත්වෙනවා නම් ඡන්දෙ පාවිච්චි කරන්න එනවා නම් ඒකට එරෙහිව කවුද ක්‍රියාත්මක වෙන්නේ. මේ කාරණය මැතිවරණය පැවැත්වෙන දින ලොකු ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. දැනටමත් නැඟෙනහිර පළාතේ අපේක්ෂකයෝ අශ්වයෝ අරගෙන පාරේ පෙළපාළි යනවා. මාධ්‍යවලින් මුළු රටම දැක්කා. ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ඕනෑ. ගැසට් එකෙන් බලය නොපැවැරීම ලොකු හිඩැසක්. මෙමඟින් කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම වෙනුවට තව තවත් වර්ධනය වීමයි සිදුවෙන්නේ.

  • මෙවර මැතිවරණයේදී මන්ත්‍රිවරු 169ක් පත් කරගන්න රුපියල් කෝටි 1000ක් වියදම් කරනවා. එක් අයකුට කෝටි 5.1ක් වගේ. මේ සම්බන්ධව ජවිපෙ අදහස මොකක්ද?

මන්ත්‍රිවරු පත්කරන්න එපමණ මුදලක් වියදම් කරනවා වගේම පත්වන මන්ත්‍රිවරයා නඩත්තු කරන්නත් තව කෝටි ගාණක් වියදම් කරනවා. ඒ හා විශාල මුදලක් වියදම් කරන්නේ රට හදන්න. රට හදන තැනට තමයි මන්ත්‍රිවරු යවන්නේ. අවාසනාවට කරුණ තමයි තවමත් පාර්ලිමේන්තුවට යවන්නේ දූෂිතයෝ, කුඩුකාරයෝ, පස් කපන්නෝ, මංකොල්ලකාරයෝ. ඉතින් එතරම් මහජන මුදලක් වියදම් කරලා බලාපොරොත්තු වෙන්නේ හොඳ මිනිස්සු පාර්ලිමේන්තු යවලා රට හදන තැනට යන්න. නමුත් ඒ අපේක්ෂාව ඉටුනොවන බවයි පේන්නේ.

  • එය එසේ වෙද්දි ජවිපෙ මන්ත්‍රිවරු පරාජය කරන්නත් ඇතැම් ව්‍යාපාරිකයෙක් ලක්ෂ 500ක් පමණ වැය කරන්න සූදානම්. මැතිවරණ ප්‍රචාරණයට කෙටි කාලයක් තබාගෙන ඡන්දෙකට සූදානම් වෙන්න තිබෙන මොහොතක මෙවැනි බාධා, අභියෝග කොහොමද ඔබලා භාරගන්නේ?

කූට ජාවාරම්කාර ව්‍යාපාරිකයන් හදන දේපළ කොල්ල කන එකට විරුද්ධ වුණා. ඒවා අපි නැවැත්තුවා. ඒ රිදීමට තමයි අපිව පරාජය කරන්න එතරම් මුදලක් වැය කරන්න හදන්නේ. අපි ඒවාට බය නැහැ. ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපිව පරාද කරන්න එච්චර සල්ලි වියදම් කරනවා නම් ඔය ජාවාරම්කාරයන්ට උදවු කරන, අනිත් පැත්ත දිනවන්න කොච්චර සල්ලි වියදම් කරනවා ඇද්ද. ඒක මහජනතාව තේරුම් ගන්නවා. ඔය කූට ජාවාරම්කාරයන්ට අපේ ගමන නවත්වන්න බැහැ. යකඩින්, දම්වැලින්, ලේවලින් මර්දනය කරලා අපිව යටත් කරන්න බැරිවෙච්ච කට්ටියට ඔය කළු සල්ලිවලින් මිලියන ගණනින් වියදම් කරලා අපේ ගමන නවත්වන්න බෑ.

  • අපේ රටේ ජනතාව තමන්ගේ ආගමට සංස්කෘතික බැඳීම්වලට ඉතාම සංවේදියි. මේ වනවිට ආන්දෝලනයට තුඩු දී තිබෙනවා බුවනෙකබාහු රජුට අයත් යැයි සැලකෙන කුරුණෑගල පිහිටි රාජ්‍ය සභාව ඩෝසර් කිරීම කාරණය. ඔබත් හිටපු සංස්කෘතික අමාත්‍යවරයා. මේ කාරණා මැතිවරණයක් අබියස කෙසේ බලපායිද?

කරුණා අම්මාන් හමුදාවේ 5000ක් මැරුවා කිව්වා. නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. නගරාධිපති පුරාවිද්‍යා ගොඩනැඟිල්ල විනාශ කළා. නීතිය ක්‍රියාත්මක කළේ නෑ. අඟුලානේ දුප්පත් කාන්තාව පොලිසියට ගල් ගැහුවා. වහාම ඇයව අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ මොකක්ද? බලපුළුවන්කාරයන්ට එක නීතියක්. දුප්පත් ගම්වැසියට තව නීතියක්. එක රටක් – එක නීතියක් කිව්වට එහෙම එකක් නෑ. මේ අසාධාරණයට විරුද්ධව තමයි මාලිමාවේ අපි සටන් කරන්නේ. කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැඟිල්ල කඩා බිඳදැමීම සම්පූර්ණ නීති විරෝධියි. පුරාවිද්‍යා පනතේ 15 (ඇ) වගන්තිය අනුව වහාම අත්අඩංගුවට ගන්න පුළුවන්. ඇප නෑ.

සිරභාරයේ තබන්න පුළුවන්. නමුත් තවමත් මීට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඊට වඩා බරපතළ කාරණාව තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කියනවා මේ නගරාධිපතිගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නෑ තමන් ඉන්නකම් කියලා. එතකොට රටේ නීතිය කියන්නේ මොකක්ද? රටේ නීතිය ජොනීගේ නීතියද? එදා මැදමුලනේ නීතිය අද ජොනීගේ නීතිය.

අනිත් පැත්තට සංස්කෘතික විෂය භාර ඇමැතිවරයා මොනවද කියන්නේ අද? ඔහු තමයි මේකට වගකියන්න ඕන. සංස්කෘතික විෂය භාර ඇමැති ඔහු කියනවා ඒ රජ්ජුරුවෝ මුස්ලිම් කාන්තාවක් කසාද බැන්දලු. එහෙම නම් කාශ්‍යප රජ්ජුරුවෝ අඩ නිරුවත් කාන්තාවන්ගේ චිත්‍ර ඇන්දා කියලා සීගිරි ගල ගැන අපි විවේචනය කළාද නෑ. ඉතින් මේ ඉතිහාසයටම අපහාස කිරීම මේ කරන්නේ. අනිත් පැත්තෙන් ජාතික උරුමයක් විනාශ කිරීමක් මේ තියෙන්නේ. ඉතා පැහැදිලිව පුරාවිද්‍යා ආඥා පනතට අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නමුත් මේ ආණ්ඩුවේ එහෙම දෙයක් වෙන්නේ නෑ. කයිවාරුව විතරයි.

  • ඒ වගේම එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ජනාධිපතිවරණයේදී ජවිපෙ යම් අදහසක හිටියා, එහි ඉඩම් ප්‍රශ්නයක් ප්‍රබලව මතු කළේ. නමුත් පසුගිය දිනවල අපි දැක්කේ ජවිපෙ මෙම ගිවිසුම සම්පූර්ණ විස සහිත දෙයක් බවට පෙන්වා දෙන ආකාරය. ඇත්තටම මොකක්ද ජවිපෙ ස්ථාවරය. එම්.සී.සී. අස්සන් කළ යුතුද? එහෙම නැත්නම් සංශෝධනය කළ යුතුද?

ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කණ්ඩායම තමයි කිව්වේ 24 පැයෙන්ම මේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානවා කියලා. රට බෙදන රට කඩන හතුරු ගිවිසුමක් කිව්වා. මාස 8ක් ගතවුණා. කුණු බක්කියට දැම්මේ නෑ. අන්තිමට දැන් මේක අධ්‍යයනය කරන්න කමිටු පත්කර කර කල් මරනවා. කැබිනට් මණ්ඩලයත් කියනවා ඊළඟට පාර්ලිමේන්තුවෙත් මේක සාකච්ඡා කරන්න දාන බව. මොකක්ද මේ කරන්න හදන්නේ? කමිටු දාලා ඡන්දෙන් පස්සේ මේක අස්සන් කරන්න යන්නේ. එම්.සී.සී. ගිවිසුමට එරෙහිව රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්, රටේ ආර්ථික ස්වෛරීත්වයට තර්ජනයක්. අනිත් පැත්තට ඇමෙරිකන් හමුදා රාජකාරියට යටත් කිරීමක්. මේ හානිදායක සියල්ල මෙහි තියෙනවා. විද්වත් කමිටු වාර්තාවේ ඉතා පැහැදිලිව මේ කරුණු සඳහන් කර තිබෙනවා. නමුත් එහෙම තියෙද්දී ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ ඡන්දෙන් පස්සේ අස්සන් කරන්න කියපු කතාව නෙමේ අද මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. බොරු දේශප්‍රේමයක්. දැන් ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙලා තියෙනවා.

  • ඔබ කියන්නේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවද?

අනිවාර්යයෙන්ම. මෙය අස්සන් නොකළ යුත්තක් කියලා විද්වත් කමිටු වාර්තාවෙත් කියලා තියෙනවා. මූලික වගන්තියක් තියෙනවා ඇමෙරිකානු ජාතික ආරක්ෂාවට හානිවන කිසිවක් ශ්‍රී ලංකාව රටක් විදිහට කරන්නේ නෑ කියලා. ඒකම වැරැද්දක්. ඒ නිසා මෙය කිසිසේත්ම අස්සන් නොකළ යුත්තක්. නමුත් තවමත් ඒ ගැන රජයේ නායකයා ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර නෑ. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව ඉද්දී තමයි ඇක්සා ගිවිසුම අස්සන් කළේ. එදා ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමයි ඒ ගිවිසුම අස්සන් කළේ. එවැනි එකක් අස්සන් කරපු කෙනෙක්ට මේක අස්සන් නොකර ඉඳියි කියලා හිතන්න බෑ. ඒ නිසා ජනතාවට ඒ ගැන විශ්වාසයක් නෑ. පැහැදිලිව ප්‍රකාශයක් ජනාධිපති විසින් රටට කළ යුතුයි. ඇමෙරිකාවට ලිඛිතව නිල වශයෙන් දැනුම් දිය යුතුයි අස්සන් කරන්නේ නෑ කියලා. පුළුවන් නම් මැතිවරණයට පෙර එය ජනාධිපතිවරයා විසින් කළ යුතුයි.

  • සාමාන්‍යයෙන් අපි සෑම මැතිවරණයක් ආසන්නයේදීම දැකලා තියෙන්නේ භාණ්ඩ මිල ඉතා පහත හෙළීම. නමුත් මෙවර අත්‍යවශ්‍ය භාණ්ඩවලට අධික බද්දක් පනවලා තියෙනවා. එවැනි විපර්යාසයක් වූයේ කෙසේද?

කොරෝනාවලට කලින් තමයි රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම නතර කළේ. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවීම නතර කළේ. පරිපාලන සේවයේ නිලධාරීන්ට 15,000 දෙන එක කප්පාදු කළේ. ජනවාරි (01දා) සිදුවුණේ කොරෝනා හින්දම නෙමේ. ආණ්ඩුවේ බැරිකම, නොහැකියාව හින්දා. දැන් හාල්, සීනි, පිටි, පරිප්පු හැම එකටම වෙළෙඳ භාණ්ඩ බද්දක් ගැහුවා. අද ජනතාවට රුපියල් 65ට දෙන්නම් කියපු පරිප්පු රුපියල් 165යි. රුපියල් 100ට දෙන්නම් කියපු සැමන් රුපියල් 300යි. කහ ග්‍රෑම් 50ක් රුපියල් 150යි. මේ තත්ත්වය ජනතාවට දරාගන්න බෑ. ඒ නිසා විදුලි බිලත් ආවා. රුපියල් 7000යි, 8000යි. ජනතාව කබලෙන් ළිපට වැටිලා. ඡන්දෙට පෙර මෙහෙම නම් ඡන්දෙන් පස්සේ මීටත් වඩා බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.

  • අවසන් වශයෙන් ගම්පහ ජනතාවගෙන් ඔබට කරන්න තිබෙන ඉල්ලීම කුමක්ද?

මාලිමාවේ බලය වැඩි කරන්න ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 20ක් මම තනියම පාර්ලිමේන්තුව නියෝජනය කළේ. ඒ බලය දෙගුණයක්, තෙගුණයක් කරන්න. ඔබ අප කෙරේ තැබූ විශ්වාසය දෙගුණ තෙගුණ කරන්න පාර්ලිමේන්තුවේ මාලිමාවේ නියෝජනය වැඩි කරන්න.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top