Advertise with Giraya
FOREIGN

බැංගලෝරයේ කොරෝනා ආසාදිතයින් 3000ක් සොයා ගත නොහැකියි

කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ 3000කට අධීක පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

‘‘ආරම්භයේ සිට මේ දක්වා අපි පුද්ගලයන් 3,338 දෙනකුගේ සාම්පල ලබාගත්තා. ඔවුන් සියලු දෙනාටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එහෙත් ඒ පිරිස ඉන්නේ කොහිදැයි හොයාගන්න බැහැ. මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳාගැනීම සඳහා අපි පියවර ගනිමින් ඉන්නවා’’ යැයි බැංගලෝරයේ පරිපාලන ඒකකයේ කොමසාරිස් එන්. මංජුනාත් ප්‍රසාද් පැවැසීය. මෙලෙස ඔවුන් පිළිබඳ තොරතුරු සොයා ගත නොහැකි වී ඇත්තේ, ඔවුන් රජය වෙත වැරදි තොරතුරු ලබා දී ඇති නිසා බව ද ඔහු පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට ඉන්දියාවේ බිහාර්, කර්ණාටක, බෙන්ගාල හා ආන්ද්‍රා යන ප්‍රාන්ත කොවිඩ් – 19 පැතිරීමේ නව ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ. එම ප්‍රාන්ත වලින් එක් දිනක දී වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය වැඩි වී ඇති නමුත් මිලියනයකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය අඩු මට්ටමක පවතියි.

පසුගිය සෙනසුරාදා (25) දිනයේ දී අඛණ්ඩව තෙවැනි දිනයටත් කර්ණාටක ප්‍රාන්තයෙන් ආසාදිතයින් 5000කට අධික පිරිසක් වාර්තා විය. එමෙන්ම, එම ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂයට ආසන්න වෙමින් පවතින අතර වාර්තා වී ඇති මරණ ප්‍රමාණය ද 2000කට ආසන්නයි. සෙනසුරාදා දිනයේ දී එම ප්‍රාන්තයෙන් ආසාදිත මරණ 72ක් වාර්තා වූ අතර ඒ අනුව, මරණ ප්‍රමාණය 1796 දක්වා ඉහළ ගියේ ය.

කර්ණාටක ප්‍රාන්තයෙන් සෙනසුරාදා දිනයේදී වෛරසය ආසාදිතයන් 5,072 දෙනකු වාර්තා වූයේ යැයි එම ප්‍රාන්තයේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයන්ගේ ගණන 90,942ක් දක්වා ඉහළ ගොස් ඇත. කර්ණාටක ප්‍රාන්තයේ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 55,683කි. එය දැනට වාර්තා වී ඇති සමස්ත ගණනෙන් සියයට 61කි. කර්ණාටක ප්‍රාන්තයේ වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිසගේ ගණන 33,750කි.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32,000කට අධිකයි. වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් ලක්ෂ 9කට වැඩි පිරිසක් සුවය ලබා ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top