දැනට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අය අතරින් හඳුනාගත් පුද්ගලයින් බැවින් වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. නමුත්, ඕනෑම අවස්ථාවක සමාජය තුළින් ආසාදිතයින් වාර්තා විය හැකි ඉඩකඩ පවතින බැවින් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඊයේ (26) දිනයේ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේ ය.
එමෙන්ම, කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුර හරහා දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රජාව තුළ කොරෝනා වෛරසය සුළු වශයෙන් පැතිර ගොස් තිබීම හේතුවෙන් ප්‍රජාව තුළ මෙම වෛරසය පැතිර ගොස් ඇති ආකාරය පිරික්සීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි අහඹු කණ්ඩායම් තෝරාගෙන පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීම අරඹා ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.
මේ අනුව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පිහිටි අවදානම් තත්ත්වයේ පවතින සෑම ආයතනයක්, පාසලක් තුළින් තෝරා ගත් අහඹු කණ්ඩායම් සඳහා මෙම පරීක්ෂණ සිදු කෙරෙන බව වෛද්‍ය සමරවීර මහතා කීවේය. මෙහිදී කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද, කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය මෙන්ම එම පුද්ගලයන් ඇසුරු කළ අයද සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
