සිය රටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවට උදම් අනමින් සිටි උතුරු කොරියාවටත් මේ වන විට කොරෝනා වසංගතයේ බිය දැනී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට දකුණු කොරියාවේ සිට කොරෝනා ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකු නීති විරෝධී අන්දමින් දේශ සීමාව හරහා උතුරු කොරියාවට ඇතුල්වීමත් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් එරට දේශ සීමාවේ නගරයක් වන කේසොං නගරය වසා දැමීමට ද නියෝග කර තිබෙනවා.
එලෙස දේශ සීමාව හරහා නීති විරෝධීව පැමිණි පුද්ගලයා කොරෝනා ආසාදිත බවට තහවුරු වුවහොත් උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ඔහු වන අතර උතුරු කොරියාව ද කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවට එක් වනු ඇත.
හඳුනාගත් පුද්ගලයාට කොරෝනා පරීක්ෂණයන් මේ වන විට සිදු කර ඇති අතර ඔහු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
උතුරු කොරියාවේ කේ.සී.එන්.ඒ පුවත් සේවය වාර්තා කරන අන්දමට එරට මේ වන විට වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
