රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ශීර්ෂ දෙකක් ඉවත් කර නව උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට නියමිත බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පසුගිය දා සඳහන් කර තිබුණා.
පසුව ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවීම හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් “ජාතිය” වෙනුවට “ජාතිකත්වය” සහ “ජන වර්ගය” ඇතුළත් නව “ජාතික උප්පැන්න සහතිකය” නම් ආකෘතියක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් උප්පැන්න සහතිකයෙන් “ජාතිය” ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඉතාමත් නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මැතිවරණ රැස්වීමක දී සඳහන් කර තිබුණා.
එහිදී ඔහු අවධාරණය කර තිබුණේ ඉදිරියට මෙරට සියලු දෙනා “ශ්‍රී ලාංකික”යින් වන බවයි. එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට කිසිඳු ආකාරයක අසාධාරණයක් නොවන ආකාරයෙන් රට පාලනය කළ බව ද එහිදී පෙන්වා දුන්නා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි:
“අපිත් හැමදාම කියපු එක, අපේ සිහිනයක් වෙලා තිබුණ එක. මෙතැනින් උප්පැන්නේ ජාතිය ආගම අහන්නේ නෑ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. මේ මොකද්ද කරන්නේ? මේ රට යන්නෙ නිවැරදි දිශාවට.” යැයි ද ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කියා සිටියා.”
