කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියෙකු ඊයේ (24) දිනයේ දී එම රෝහලෙන් පැන යාමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසල දී සොයා ගන්නා ලදී.
මෙලෙස අයි.ඩී.එච්. රෝහලෙන් පැනගොස් තිබුනේෙ ති‍්‍රකුණාමලය, වල්ලිමලර්, සින්නම්පිල්ලෙසිමෙයි පදිංචි එල්සියාම් නසීම් නමැති 41 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා අයි. ඞී. එච්. රෝහලෙන් පලා ගොස් පසුව කොළඹ කෙළින් වීදියට පැමිණ ඇති බවත්, පසුව ඔහු කෙළින් වීදිය ප‍්‍රදේශයේ සිට කොළඹ ජාතික රෝහලට ති‍්‍රරෝද රථයකින් පැමිණ ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයකු බවත්, ඔහු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටීම නිසා මොහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය වැළඳීමෙන් පසු පසුගිය 15 වැනිදා අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් කර තිබිණි.
එමෙන්ම, මෙම රෝගියා රෝහලේ වාට්ටු අංක 4 හි ප‍්‍රතිකාර ලබමින් සිටියදී බිත්තියේ කවුළුවකින් එළියට පැන පසුව බටයක ආධාරයෙන් බිමට බැස පලාගොස් ඇති බවත් රෝහලෙන් පලායෑමට පෙර කිසියම් අයකු ඇඳ මත නිදා සිටින ආකාරයට ඇඳ මත කොට්ටයක් තබා ඒ මතින් ඇඳ ඇතිරිල්ලක් පොරවා පලාගොස් ඇති බවත් වාර්තා වේ.
රෝහල් වාට්ටුවේ සේවයේ නියුතුව සිටි රෝහල් සේවකයකු ඇඳ මත රෝගියා නොසිටිනු දැක ඒ බව රෝහල් බලධාරීන්ට දැනුම් දී ඇති අතර පසුව එම වාට්ටුවේ වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය එම රෝගියාව සොයා ගත නොහැකි වු තැන පොලීසියට පැමිණිලි කර තිබේ.
මෙම රෝගියා පැන යෑමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ නිලධාරීන් 100 දෙනකුට අධික පිරිසක් යොදවා ප‍්‍රදේශය තුළ මෙහෙයුමක් ආරම්භ කර තිබූ බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේය. පසුව, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලදී සොයා ගැනුණු මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා යළි අයි. ඞී. එච්. රෝහල වෙත යැවීමට පියවර ගත් බව ද තෙන්නකෝන් කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පුහුුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි මෙනවිය මෙසේ අදහස් පළ කළා ය.
‘‘අපේ සහෝදර රෝහල් සේවකයන් දෙදෙනෙක් බාහිර රෝගී අංශය අසලින් තේ බොන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවේ මේ රෝගියා අපේ සහෝදර සේවකයන් දෙදෙනාට කියලා තිබෙනවා මම තමයි ආවේ අයි. ඞී. එච්. එකෙන් පැනලා ආපු ලෙඩා කියල. පසුව ඒ සේවකයන් දෙදෙනා රෝහල් බලධාරීන් දැනුවත් කළා. පසුව එම සේවකයන් එම ලෙඩාවයි ඔහු පැමිණි ත‍්‍රිරෝද රථ රියැදුරාවයි ඒ ස්ථානයේ රඳවාගෙන තිබුණා. පසුව මමයි තව හෙද නිලධාරිනියකුයි එතනට ගියා. අපිත් එක්ක පොලිසිය, හමුදාවේ නිලධාරීන් පැමිණ සිටියා. මුලින්ම අපි ත‍්‍රිරෝද රථ රියැදුරාව ආරක්ෂිතව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට පිටත් කර හැරියා. කොරෝනා ආසාදිත රෝගියාට අපි ආරක්ෂිත ඇඳුම් ඇන්දුවා. මොකද ඒ ආශ‍්‍රිතව වෛරසය පැතිරයෑම වැළැක්වීමට. පසුව අපි 1990 ගිලන් රථයක් ගෙන්වා ඔහුව නැවත අයි. ඞී. එච්. රෝහලට පිටත්කර හැරියා. ත‍්‍රිරෝද රථය එම ස්ථානයේ තිබියදීම විෂබීජ හරණයකට ලක්කළා. පොලිසිය පසුව එම රෝහල් මාර්ගය තාවකාලිකව වසා දැම්මා.
‘‘අපි කොරෝනා ආසාදිත රෝගියාගෙන් ඇහැව්වා ඇයි පැනලා ආවේ කියලා. එවිට ඔහු කිව්වා නිකන් එම රෝහලෙන් එන්න හිතුණා කියලා. ඉන් එහා කිසි දෙයක් කිව්වේ නැහැ. අපේ සහෝදර රෝහල් සේවකයන් දෙන්නා නිසා මේ රෝගියා හමුවුණා. එහෙම හමුවුණේ නැතිනම් ලොකු විනාශයක් වෙන්න තිබුණා.
මෙම පුද්ගලයා අයි. ඞී. එච්. රෝහලෙන් පැන යෑමත් සමග ඔහුගේ ඡායාරූපයක් ද මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කෙරිණි. මේ අතර, මෙම පුද්ගලයා රෝහලෙන් පලාගිය කාලසීමාවේ ඔහු සැරිසැරූ ස්ථාන, ගමන් ගත් රථ, ඇසුරු කළ පුද්ගලයන් සොයා බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබේ.
