Advertise with Giraya
BUSINESS

ඇමරිකන් සුරැකුම්පත් ඇපයට තබමින් ණය ගැනීමේ කතාව ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

ඇමරිකා ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට පැතිර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

අවශ්‍ය අවස්ථාවල එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් ලෙසට නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ගිවිසුමකට එළඹුනු බව ද එම නිවේදනයෙහි දැක්වේ.

ලොව බොහෝ මහ බැංකු සිය කෙටි කාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කර තිබෙනවා.

Giraya News Alerts

දීර්ඝ කාලීන විදේශ විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව අවශ්‍ය අවස්ථාවලදී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවකට මෙම පහසුකම මගින් ඉඩ සැලසෙනවා.

එමෙන්ම, කොරෝනා තත්වය සමග බැඳුනු අවිනිශ්චිත තත්වයන්ට මුහුණදීමේ සැලසුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉහත කී ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුමට එළඹීමේදී ඒ සඳහා යෙදවූයේ ස්වකීය විදේශ විනිමය සංචිතයෙහි ඇතුළත් ඩොලර් බිලියනයක් පමණක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීමට පහසුකම් හිමි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම ප්‍රති මිලදී ගැනුම් පහසුකම පියවා දැමූ විට ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව උකස් කළ බැඳුම්කර නැවත අප වෙත නිදහස් කරනු ඇත. එසේ වූ විට ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට දැරීමට සිදුවන පිරිවැය වනුයේ සියයට 0.35ක් පමණ වන වාර්ෂික ප්‍රතිමිලදී ගැනුම් ගාස්තුවක් පමණි.

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටිය ද කිසිදු ණය ගැනීමක් තවමත් සිදු කර නැති අතර එමෙන්ම ඕනෑම අවස්ථාවක අදාළ පහසුකමින් ඉවත්වීමේ අයිතිය ද ශ්‍රී ලංකා මහ බැංකු අභිමතය යටතේ පවතින බවයි මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව ඩොලර් බිලියන 4.5ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙවැනි පහසුකම් ඉතා සාමාන්‍ය එමෙන්ම අවශ්‍ය වූ විට භාවිත කළ හැකි ස්වාධීන මූල්‍ය පහසුකමක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද රජය විසින් ඇමරිකන් ආණ්ඩුවේ ඩොලර් මිලියන 4500ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ඩොලර් මිලියන 1000ක් ලබා ගැනීමට සූදානමක් පවතින බව පැවසුවා.

එමෙන්ම, ඇමරිකන් රජය විසින් එම ඩොලර් මිලියන 1000ක මුදල ලබා දුන් පසුව එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමේ කොන්දේසියකට ද රජය එළැඹී ඇති බව ද රනිල් වික්‍රමසිංහ එහිදි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top