Advertise with Giraya
FOREIGN

ඇමරිකා – චීන අර්බුදය තවත් උත්සන්න වෙයි

ඇමරිකානු – චීන රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න කරමින්, නිරිතදිග චීන නගරයක් වන චෙන්ජු නගරයේ පිහිටි ඇමරිකානු කොන්සුලර් කාර්යාලය වසා දමන ලෙස චීනය විසින් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස ඇමරිකාව විසින් නියෝග කිරීමට ප‍්‍රතිචාර වශයෙන් ය. චීන බලධාරීන් එම නියෝගය “දේශපාලන කුපිත කිරීමක්” ලෙස හැඳින්වීය. එමෙන්ම, චීනය පවසන්නේ එය ඇමරිකාවට “දිය යුතුම ප්‍රති උත්තරයක්” බවයි. ඒ අනුව, චෙන්ජු කොන්සල් කාර්යාලය වසා දැමීමට චීනය ඇමරිකාවට ලබන සඳුදා තෙක් කල් ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව සහ චීනය අතර වර්තමානයේ පවතින මතභේදාත්මක වාතාවරණය චීනය කිසිසේත් දැකීමට අපේක්ෂා කළ තත්ත්වයක් නොවන බවත්, ඊට ඇමරිකාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දමන ලෙස ඇමරිකාව පසුගිය 22 වනදා චීනයට නියෝග කිරීමෙන් පසුව දෙරට අතර උණුසුම් වාතාවරණයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

හූස්ටන්හි චීන කොන්සල් කාර්යයාල භූමියේදී, හදුනා නොගත් පුද්ගලයින් පිරිසක් විසින් ලියකියවිලි පුළුස්සමින් සිටිනු දක්නට ලැබීමත් සමඟ ඇමරිකාව විසින් මෙම තීරණය ගත් බව පැවසුවා. ඇමරිකානු බුද්ධිමය දේපළ හා ඇමරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු චීනයෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් හූස්ටන් කොන්සල් කාර්යාලය වසා දමන ලෙස චීනයට නියෝග කළ බව එහිදී ඇමරිකාව ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත්, බුද්ධි තොරතුරු සෙවීමට තැත් කළ බවට ඇමරිකාව එල්ල කරන චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

එමෙන්ම, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන විදෙස් කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද තීරණය විවේචනයට ලක් කළ අතර වොෂිංටන් හි පිහිටා ඇති චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඔහු පවසයි.

වොෂිංටන් හි පිහිටා ඇති චීන තානාපති කාර්යාලයට අමතරව චීන කොන්සියුලර් කාර්යාල 5ක් ඇමෙරිකාවේ ස්‌ථාපිත කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top