IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලා ගිය පුද්ගලයා සොයා ගැනීමට උපකාර කළ කොළඹ ජාතික රෝහලේ සේවකයින් සඳහා පොලිස්පති අරමුදලින් විශේෂ ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.
මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා පළමුව දැක ඇත්තේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලදී එහි සේවයේ නිරත වන සේවකයින් දෙදනෙකු විසින් ය. ඔවුන් දෙදෙනා රෝහල අසල පිහිටි ආපනශාලාවකට යමින් සිටිය දී මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා හමු වී ඇත.
පසුව, ආසාදිත පුද්ගලයා විසින් තමන් අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා බව එම රෝහල් සේවකයින් දෙදෙනාට පවසා තිබෙනවා. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ එම සේවකයින් දෙදෙනා අදාළ රෝගියාව අසල පිහිටි පදික වේදිකාවේ හිඳුවා රෝහල් බලධාරින්ට සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කොට තිබෙනවා.
රෝහල් බලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් වහාම ආරක්ෂක අංශ වෙත දැනුවත් කොට ඇති අතර ඒ අනුව එම රෝගියා රඳවා තිබු අවට ප්‍රදේශයට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව ආරක්‍ෂිත ඇඳුම ඇඳ ගත් ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකු පැමිණ එම රෝගියාට ද ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇද ගැනීම සඳහා ලබාදී තිබෙනවා. පසුව IDH රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයින් පැමිණ පැන ගිය රෝගියා යලි රෝහල කරා රැගෙන ගිය බව ද වාර්තා වේ.
මෙම රෝගියා කොළඹ, පිට කොටුවේ කෙලින් වීදියේ සිට ජාතික රෝහලට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින් වන අතර එහි රියදුරු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වන විට පියවර තිබෙනවා.
IDH රෝහලේ සිට මෙම රෝගියා ගැවසුණු ස්ථාන හා ඔහුගේ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටිනවා.
සම්බන්ධිත පුවත්
