ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මිනීමැරුම්, කොල්ලකෑම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී සිය අනියම් බිරිය විසින් ඝාතනය කළ බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇති අතර බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන අන්දමට අනියම් බිරිඳ විසින් අංගොඩ ලොක්කා ඝාතනය කර ඇත්තේ ඔහුට වස පානය කිරීමට දීමෙන්ය.
ඉකුත් 03 වැනිදා මෙම ඝාතනය සිදුවී ඇති අතර ඉන්දියාවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේදී අංගොඩ ලොක්කාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර ඇති බව ද වාර්තා වේ.
ඒ අනුව, අංගොඩ ලොක්කා සැබෑ ලෙසම මියගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
පාතාල කල්ලි නායක රණාලේ සමයං සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු අටදෙනකු කළුතර බන්ධනාගාර බස්රථයකදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ මාකඳුරේ මදූෂ්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කා විසිනි.
මෙම ප‍්‍රහාරයෙන් පසු පොලිසියෙන් බේරීමට අංගොඩ ලොක්කා සහ ඔහුගේ සමීපතම සගයා වන ලඩියා නමැත්තා හලාවත ප‍්‍රදේශයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලාගොස් තිබුණි.
