හය ලක්ෂයක් පමණ වූ රජයේ සේවයේ නිරතව විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ හිමි වූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණි. එසේ ප්රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ්රාමිකයන්ගෙන් 10%ක් පමණ විය. නමුත් 2016 ජනවාර් 01 දිනට පෙර විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ දෙනාට අග්‍රාහාර රක්ෂණයට දායක වීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී නොතිබිණි. එබැවින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ප්රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී ඇතැයි අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නිරීක්ෂණය කෙරිණි. එම නිසා මෙම විෂමතාව ඉවත් කොට 2016 ජනවාරි 01 වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට ද ප්රතිලාභ අත්වන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය අද තීරණය කළේ ය.
අග්‍රහාර රක්ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලුම විශ්‍රාමිකයින්ට වඩා උසස් ජීවන මට්ටමක් විඳීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව, රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයින්ට ගුණාත්මකභාවයෙන් යුතු ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබා ගත හැකි වන පරිදි විශේෂ වූ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමට ද රජයේ අවධානය යොමු වී ඇති බව ද එම නිවේදනයෙන් දන්වයි.
ඒ අනුව, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප්රමුඛ රෝහල්වල රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයින් සඳහා ම සුවිශේෂී වූ වාට්ටු නිර්මාණය කරන බව ද, එම වාට්ටුවල ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමට ද යෝජනා කර ඇත.
එමෙන්ම, විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය යෝජනාවන් වහාම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම් දීමට ද තීරණය කර ඇත.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


