Advertise with Giraya
NEWS

උප්පැන්නෙන් ජාතිය හැලෙයි, “ශ්‍රී ලාංකික” ලෙස යොදයි, සමාජ ජාල කැළඹෙයි

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකය තුළ අන්තර්ගත කරුණු දෙකක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව උප්පැන්න සහතිකය ලබන සියලු පුරවැසියන් ශ්‍රී ලාංකිකයින් ලෙස සළකා “ශ්‍රී ලාංකික” ලෙස සටහන් කරමින් උප්පැන්න සහතියේ “ජන වර්ගය” තීරුව ඉවත් කිරීමට මේ අනුව තීරණය කර තිබෙනවා.

තවද “මව්පියන් විවාහක ද” යන බව දැක්වෙන තීරුව ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ මවගේ සහ පියාගේ විවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් සමාජයේ දී විවිධ ගැටලුවලට මුහුණ දෙන බැවින් එම තත්වය මගහැරීමට මෙම තීරණය ගත් බවයි.

අගෝස්තු 05 දින මහමැතිවරණය අවසන් වීමෙන් පසු නිකුත් කෙරෙන නව ඩිජිටල් උප්පැන්න සහතිකය මෙම සංශෝධන ද සහිතව නිකුත් කෙරෙන බව ඔහු කියා සිටියේය.

උප්පැන්න සහතික නිකුත් කිරීමේ දී සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් ජාතිය සටහන් කිරීම වෙනස් කර “ශ්‍රී ලාංකික” යනුවෙන් සටහන් කිරීම ආරම්භ කළ යුතු බවට මීට පෙර 2018 සැප්තැම්බර් මාසයේ දී එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය. ඒ යාපනයේ චාවකච්චේරියේ දී 2018 සැප්තැම්බර් 28 දින පැවති උත්සවයකදීයි.

එහි දී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසා ඇත්තේ “කෙනෙක් උපදින අවස්ථාවේ දී උප්පැන්න සහතිකයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් කරනවා. මේ ක්‍රමය නැවැත්විය යුතුයි. මේ විෂය තියෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. අපි අනාගතයේ දී උප්පැන්න සහතිකයේ ශ්‍රී ලාංකික කියලා ලියන්න කටයුතු කරන්න ඕනෑ. අපි ජාති වශයෙන් බෙදෙන්නේ නැතිව හැමෝම මනුස්සයන් හැටියට වැඩ කළොත් පමණයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට සිතිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.” යැයි සඳහන් කර තිබේ.

මේ වන විට මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ ජාල තුළ නව කතිකාවක් නිර්මාණය වෙමින් පවතිනවා. එහිදී ඇතැමුන් මෙම තීරණය අගය කර තිබෙන අතර තවත් පිරිසක් මෙම තීරණය වැරදි බවට තර්ක කර තිබෙනවා.

මෙම තීරණයට එරෙහිව අදහස් දක්වා ඇති පිරිස් පවසන්නේ නව තීරණයත් සමග “සිංහල” ජාතියක් ලෙස සටහන් වන අවසන් නිල ලේඛනය ද භාවිතයෙන් ඉවත් වන බවයි. එය එතරම් පහසුවෙන් ගත හැකි තීරණයක් දැයි ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

ඇතැමුන් විමසා සිටින්නේ මෙම තීරණය පසුගිය ආණ්ඩුවෙන් ගත්තා නම් කුමන ප්‍රතිචාරයක් ලැබෙයි ද යනුවෙනි.

මෙම තීරණය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති බහුතරයක් සිංහල ජනතාව වන බව ද පෙනී යයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top