තමා ඇතුළු සමගි ජන බලවේගයේ 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ඉකුත්දා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම, එම අභියාචන පෙත්සම සඳහා නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක මුදලක් ගෙවීමට ද සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් සහ මොහොමඩ් ලාෆීර් යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
සමගි ජන බලවේගය පක්ෂය ස්ථාපිත කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස ගනු ලැබූ තීන්දුවකට අනුව බව පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර විසින් සිවිල් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම මගින් සඳහන් කර තිබුණි.
ඒ අනුව, සමගි ජන බලවේගය ස්ථාපිත කිරීමේ දී තමා ඇතුළු පිරිස කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවත් ඒ අනුව තමන් ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතිවිරෝධී බවත් පවසමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉකුත්දා නඩුවක් ගොනු කළ බව රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
එම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය තමන් ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් එසේ ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය එළැඹුණු තීරණය නීතියට පටහැනි බව රංජිත් මද්දුම බණ්ඩාර සිවිල් අභියාචනා-මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, තමන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය විභාග කිරීමට අවසර ලබා දී සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගය නිකුත් කරන ලෙසද ඔහු බස්නාහිර පළාත් සිවිල් අභියාචනා-මහාධිකරණයෙන් ඉල්ලා ඇත.
එහෙත්, එම පෙත්සම ඉකුත්දා සලකා බැලූ අවස්ථාවේ දී මෙම ඉල්ලීමට විරුද්ධව කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබා දී තිබු බවට පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කරන කරුණු මුළුමනින්ම සාවද්‍ය බවත් එවැනි පක්ෂයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු අවස්ථාවක අනුමැතිය ලබාදී නොතිබූ බවත් සඳහන් කළේය.
පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් මේ වන විටත් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන එම පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාර දී ඇති බැවින් ඔවුන්ට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.
ඒ අනුව, පෙත්සම්කරු ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස එම නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (21) මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
සම්බන්ධිත පුවත්
