Advertise with Giraya
NEWS

සියළුදෙනාම සුවය ලබා අවසන් වූ ලංකාවේ ලොකුම කොරෝනා පොකුර

ශ්‍රී ලංකාවේ පැතිරුණු විශාලම කොරෝනා පොකුර ලෙස සැලකෙන නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකුටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 46 දෙනෙකුටත් ආසාදිත වූ නාවික හමුදා පොකුරේ නාවික හමුදා සාමාජිකයින් සියලුමදෙනා පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කරයි.

මෙරට දී කොරෝනා ආසාදනය වූ පළමු රෝගියා ලංකාවෙන් වාර්තා වූයේ මාර්තු 11 වැනි දින ය. පසුව සති 7ක් ඇතුළත දී ආසාදිතයින් 649ක් ව තිබිය දී අප්‍රේල් 22 වැනි දින කොරෝනා ආසාදිත පළමු නාවික හමුදා සෙබළා වාර්තා විය.

සෞඛ්‍ය අංශ වාර්තා කළේ, ජා – ඇල, සුදු වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ 206 වැනි ආසාදිතයාගෙන් අදාළ නාවික හමුදා සෙබළා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. පසුව අප්‍රේල් 23 වැනි දින වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන ලදී. පසුව ජුනි මාසයේ 20 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැලිසර නාවික කඳවුර සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කිරීමට අවශ්‍ය නිර්දේශයන් ලබා දෙන ලදී.

සෞඛ්‍ය අංශ සඳහන් කරන පරිදි ‘206’ වැනි ආසාදිතයා හරහා කොරෝනා පොකුරු 3ක් නිර්මාණය වී තිබූ අතර ඉන් වාර්තා වූ ආසාදිතයින් ගණන 1100ක් වේ. එයින් නාවික හමුදා පොකුරෙන් ආසාදිතයින් 950ක් ද, ජා -ඇල සුදුවැල්ල හා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 150ක් ද වාර්තා විය.

ජා -ඇල සුදුවැල්ලෙන් වාර්තා වූ ආසාදිත ‘206’ වැනි රෝගියා වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරෙක් වන අතර 2002 වර්ෂයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවෙකි. ඔහු AP පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබුනේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පැනවූ පසුව තමන් දෛනිකව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවයි.

එසේම, තමන්ගෙන් නාවික හමුදාවට කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ චෝදනාව තමන්ට පිළිගත නොහැකි බවත් ඔහු එම පුවත්පතට සඳහන් කර තිබුණා. එමෙන්ම, කොරෝනා වසංගතය පැමිණීම හේතුවෙන් තමන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වුනු බැවින්, එයින් හොඳක් සිදු වූ බව ද සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල කැප වීම් මත ලංකාවේ පැතිරුණු විශාලතම කොරෝනා පොකුර මේ වන විට අඩපණ කර අවසන්ය. ආසාදිත නාවික සෙබළුන් සියල්ලන්ම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන් ය. එය ලංකාවේ කොරෝනා මර්දන ඉතිහාසයේ අති විශාල ජයග්‍රහණයක් ම වන්නේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top