වැලිකඩ කාන්තා, කොළඹ මැගසින් සහ මීගමුව යන බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් දැලක් යෙදීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, එම බන්ධනාගාර තුළට, පිටත සිට තහනම් භාණ්ඩ සහිත පාර්සල් වීසි කිරීම ඉහළ යාම හේතුවෙන් ය. එම බන්ධනාගාර අතරින් වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළට, පිටත සිට තහනම් භාණ්ඩ විසි කිරීම මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.
ඉකුත් දිනවල වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ වැටලීම්වලදී එහි තිබී තහනම් භාණ්ඩ ද වැඩි වශයෙන් නිලධාරීන් භාරයට ගැනුණා. පෙරේදා (15) රාත්‍රියේ දී එම බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ පාර්සල් 18ක තිබී ජංගම දුරකතන 20ක් ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයා ගැනිණ.
මේ සිදධීන් හේතුවෙන්, වැලිකඩ කාන්තා බන්ධනාගාර භූමියට ඉහළින් ද දැලක් යෙදීමට අවධානය යොමුව ඇත. එවිට පිටත සිට බන්ධනාගාරය තුළට විසි කෙරෙන තහනම් භාණ්ඩ දැල මතට පතිත වීම හේතුවෙන් එම භාණ්ඩ පහසුවෙන්ම නිලධාරීන් භාරයට ගත හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම වැලිකඩ කාන්තා බන්ධනාගාරයට තහනම් භාණ්ඩ විසි කෙරෙන ස්ථාන හඳුනා ගෙන එම ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට ද අවධානය යොමුව ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි. බන්ධනාගාරයට පිටතින් මෙන්ම ඇතුළතින් ද කැමරා සවිකිරීමට අදහස් කරන බව ඔහු පවසයි.
එමඟින් බන්ධනාගාරයට තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් සහ ඒවා අහුලා ගන්නා රැඳවියන් ද හඳුනා ගැනීමට හැකි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයට අයත් භූමිය අක්කර 02 කට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊයේ(16) දිනය වනවිට එහි රඳවා සිටි කාන්තා රැඳවියන් ගනන 470 දෙනෙක්.
සම්බන්ධිත පුවත්
