Advertise with Giraya
NEWS

කොරෝනා වැළඳී ලාංකිකයින් 40ක් විදේශයන්හිදී ජීවිතක්ෂයට

රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වෛරසය ආසාදනය වී මියගොස් ඇති බවට වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. එමෙන්ම, මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බව ද සභාපතිවරයා පවසයි.

මෙම මියගොස් ඇති පිරිස අතර, කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් වාර්තා වී ඇති බව රත්වත්තේ මහතා පවසයි. මේ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව ද ඔහු සඳහන් කරයි.

මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ද රත්වත්තේ මහතා පවසයි.

Giraya News Alerts

සාමාන්‍යයෙන් විදේශයක දී විගමණික ශ්‍රමිකයෙකු මියගිය අවස්ථාවක දේහය මෙරටට ගෙන්වාගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීම සඳහා කාර්යංශයේ සුභසාධක අරමුදලින් ලබා දෙන රුපියල් 30,000 ක ආධාරය මෙසේ කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ පවුල්වලටත් ලබා දීමට කාර්යංශය තීරණය කළ බව ද ඔහු පවසා සිටියි.

ඒ සමගම එම පවුල්වලට තවත් රුපියල් දස දහසක් ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් රක්ෂණයෙන් මුදල් ගෙවන තුරු සහනයක් ලෙස මෙම ආධාරය ලබා දෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ආවරණය කරන මෙම රක්ෂණාවරණයෙන් 2020 මාර්තු 16 ට පෙර විදේශ ගත වූ මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක රක්ෂාවරණයක් ද 2020 මාර්තු 16 න් පසුව විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හයක් ද ගෙවනු ලබන බවත් ඒවා ලබා දීමට තවත් මාසයක් පමණ කල් ගත වන බැවින් මෙසේ සුභ සාධක අරමුදලින් මුදල් ගෙවීමට කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවත් ඔහු පැහැදිලි කළේ ය.

එම රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මරණ සහතිකය ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළ යුතු යැයි ද එසේ අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ මෙම හතලිස් දෙනාගෙන් දහදෙනෙකු පමණක් යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

කමල් රත්වත්තේ මහතා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (16) පැවති ගිවිසුම් අත්සන් කිරීමක දී මාධ්‍යයට කරුණු දක්වමිනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම අස්සන් කිරීම එහි දී සිදුවිය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top