ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කරයි. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ ඔහු සමඟ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය රියදුරෙකුටයි.
මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යළි පැමිණි අයවළුන් වන අතර රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය ජුලි 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාළව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
පසුව, ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලට ද ගොස් ඇති බවට හෙළි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කරයි.
රියදුරා වශයෙන් කටයුතු කළ කොරෝනා ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සංචරණය කොට ඇති බවත් ඔහු ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගිව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි දාන නිවසකට ද ගොස් ඇති බවට කරුණු අනාවරණය කොට ගෙන තිබෙනවා.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනා නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කොට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා ගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවමත් සොයමින් සිටින බවත් මේ දක්වා පවුල් 13 කට අයත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කරයි.
