මීගමුව බන්ධනාගාරයේ සිට පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු රෝහලෙන් පැන යාමට උත්සාහ කිරීමේ දී එම රෝහලේ 08 වන මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
එම රැඳවියා හෙරොයින් වරදක් සම්බන්ධව බන්ධනාගාරගත කර ඇති අතර ශ්වසන මාර්ගයේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වන දින මීගමුුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහල වෙත මාරු කර ඇත. රෝහලේ දී ඔහුව බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ තබා ඇති බව ද වාර්තා වේ.
පසුව, ඊයේ(13) රාත්රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටිය දී හමුවී තිබේ.
මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ ප්රතිඵල අද(14) දිනයේදී ලැබීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
