අද (11) දිනයේ ප්‍රථම වරට මෙරට පාසැල් සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති අතර එම දරුවා රාජාංගනය යාය 4 ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඒ අනුව, අදාළ ප්‍රදේශයේ පාසල් ළමුන් 70ක් ඇතුළුව ගම්වාසීන් 300ක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
කොවිඩ් වැළඳි පාසල් සිසුවා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ හමුදා නිලධාරීවරයෙකුගේ දරුවෙකි. එම පවුලේ අනෙක් දරුවාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
අදාළ උපදේශකවරයා ඉකුත් ජුලි 01 වැනි දා කන්දකාඩු වෙත ගොස් ජුලි 02 වැනි දා යළි රාජාංගනය වෙත පැමිණීමෙන් පසු ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ද සහභාගි වී තිබුණි. 11 හැවිරිදි ඔහුගේ පුත්‍රයා උපකාරක පංති කිහිපයක් සඳහා සහභාගි වී තිබූ අතර අධ්‍යයන කටයුතු සඳහා පාසලට ද ගොස් තිබුණි. අදාළ ආසාදිතයා වාර්තා වීමත් සමග රාජාංගනය ප්‍රාදේශීය සභාව මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් අතර ප්‍රදේශයේ වෙළෙඳසැල්ද වසා දමා ඇත.
තවද, එම සිසුවාට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් හබරාදුව පදිංචි එක් පුද්ගලයෙක් ද, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් ද, ලංකාපුර ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයෙක් ද වෛරසය ආසාදිතයින් ලෙස අද දිනයේ දී හඳුනාගෙන තිබේ.
මීට අමතරව, අද දිනයේ තවත් නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ අතර ඉන් සිව්දෙනෙකු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිටත් තවත් අයෙකු කුවේට්හි සිටත් පැමිණි අය වේ.
ඒ අනුව, අද (11) දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 10 ක් වන අතර මේ වන විට සමස්ත ආසාදිතයින් ගණන 2464 දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ දී කිසිදු රෝගියෙකු සුවය ලබා නොමැති අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1980ක් වේ. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 473 දක්වා ඉහළ ගොස් තිබේ.
