උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (10) රීට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු වන බෝසෙත් කළහේපතිරණ විසින් ය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කර තිබේ.
නීතීඥ ලලිත් විජේසුන්දර මාර්ගයෙන් ගොනු කළ රීට් පෙත්සමේ මෙසේද සඳහන් වේ
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන මෙවර මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ වදින අතර ඉකුත් ජුනි 20 වැනි දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දක්වමින්, තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.
මීට අමතරව ඉකුත් ජුලි 03 වැනිදා ද කරුණා අම්මාන් විසින් තමන් කොටි නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා මැරීමට උපදෙස් දුන් බවත් , එසේ කළා නම් කිසිදු ගැටලුවක් දැන් නැතැයි යනුවෙන්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනු ලැබ ඇත.
මෙම ප්‍රකාශ දෙක තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත.
සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලිකර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.
එබැවින් විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වන්දියක් අය කර දෙන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කරනු ලැබ ඇත.
