කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ වසංගත රෝග විද්‍යා අංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.
පසුගිය 07 වැනිදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසු ඔහු පුනරුත්ථාපනය සඳහා යොමු කොට සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේ දී තවත් වැඩිවෙනු ඇති බව වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැළදී ඇති බවට අද (09) දින තහවුරු වී ඇති බවත් ඇය පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ඇති බව ද සඳහන් කළා.
එමෙන්ම, එම උපදේශිකාව නිවසට පැමිණීමෙන් පසුව ඇයට තිබු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ද ගොස් ඇති බව ද කරුණු අනාවරණය වී තිබෙනවා.
මිට අමතරව, එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ඇතැම් අය නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ හේතුවෙන් වෛරසය සමාජ ගත වීමේ අවදානමක් ඇති බව ද සඳහන් කළා.
එමෙන්ම, පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති බවත් එහිදී ඔවුන්ව නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට තිබුනද එමඟින් ඇතැම් විට අවදානමක් මතුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
