බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රැඳවියා එම බන්ධනාගාරයේ I වාට්ටුවට මාරු කර එවූ ජුනි 27 වන දින සිට ඊයේ (07) දිනය දක්වා ඔහු ආශ්‍රය කළ රැඳවියන් පිළිබඳව තොරතුරු එක් රැස් කරමින් පවතිනවා.
ඒ අනුව, ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවූ දිනයේ සිට ඊයේ දිනය දක්වා රැඳවියන් 100කට පමණ පිරිසකට නිදහස හිමි වී නිවෙස් බලා ගොස් ඇති බවත් තවත් රැඳවියන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත යවා ඇති බවත් වාර්තා වේ. දෙදෙනෙකු කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති අතර තිදෙනෙකු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව පසුවේ.
එසේම, වැලිකඩ බන්ධනාගාරයේ I වාට්ටුවේ පසු වූ රැඳවියන් 189 දෙනෙකු යුද හමුදා නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ රාත‍්‍රි 9.00 ට පමණ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. එම පිරිස බස් රථ 6කින් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.
මෙම පිරිස පළමුව රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට බලකා කඳවුර වෙත රැගෙන යාමට සූදානම්ව සිටියද, පසුව එම පිරිස පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ යුද හමුදාවේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නිරෝධායන කටයුතු සිදු කරනු ඇත.
මීට අමතරව, වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් 9 දෙනෙකු ද රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලට නිරෝධනය සඳහා යොමු කර ඇත. ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 8 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමුකර තිබෙනවා.
