පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථාන වලින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අසම්පූර්ණ විමර්ශන වල උදෘත ගොනු 38ක් දෙවන වරටත් වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා විසින් ආපසු භාරදුන් බව නීතිපති සම්බධීකරණ නිලධාරිනී රජයේ අධි නිතීඥ නිෂාරා ජයරත්න මෙනවිය අද (07) සදහන් කළාය.
ඉකුත් 26 වන දින ද මේ අයුරින් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත අසම්පූර්ණ විමර්ශන ගොනු 40ක් ආපසු යවා තිබිණි.
මේ අනුව, විවිධ පොලිස් ස්ථාන වලින් විමර්ශන අවසන් බවට සඳහන් කරමින් විමර්ශන වල උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණත්, ඒවායේ විමර්ශන අසම්පූර්ණ වීම හේතුවෙන් කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි බව පෙනී යන බව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් වන අසම්පූර්ණ අපරාධ විමර්ශන ගොනු 78ක් මේ වන විට ආපසු පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇති බවත්, එම අසම්පූර්ණ විමර්ශන නොපමාව හරි ආකාරව සිදු කර ඒවායේ සම්පූර්ණ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත නැවත භාර දෙන ලෙසට පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවත් නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
සම්බන්ධිත පුවත්
අප්‍රේල් 21 සිදුවීමට අදාළ අසම්පූර්ණ ලිපිගොනු 40ක් නීතිපතිවරයා යළි පොලීසියට හරවා යවයි
