මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයකට පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයාව අද (06) දිනයේදී යාපනය, ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටිය දී යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මන්නාරම, වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.
මන්නාරම,පේසාලෙයි මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බැගයක් පිටේ එල්ලාගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ඊයේ (05) හා අද (06) දිනයේ යෙදවීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණි.
සැකකරු පේසාලෙයි දේවස්ථානය වෙත පැමිණ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වන සිසිටිවි දර්ශන අනුව සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු උතුරේ සියළු ආරක්ෂක අංශ වෙත ලබාදි තිබු බව උතුරු පළාත් පොලිස් නිළධාරීන් සඳහන් කරයි.
සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යාපනය පොලිස් නිළධාරීන් සැක කටයුතු අත්අඩංගුවට ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
