කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම උදෙසා විදෙස් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකා රජයට ලබා දුන් ප්‍රදාන හා ද්‍රව්‍යමය වශයෙන් ලබා දුන් අධාර පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. මෙහි පසුගිය ජුනි 12 දක්වා කාලය තුළ මෙරටට ලැබුණු ප්‍රදාන හා ද්‍රව්‍යමය ආධාර පිළිබඳව විස්තරාත්මක තොරතුරු ඇතුළත් වේ.
ඉතා විනිවිදභාවයෙන් යුතුව මේ විදේශ ණය ආධාර භාවිතා කිරීමට අදාළව අගමැතිවරයා මෙම තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එම තොරතුරු කැබිනට් මණ්ඩලය සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව, ලෝක බැංකුව ශ්‍රී ලංකා කොවිඩ් – 19 හදිසි අවස්ථා ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 128.6ක් හා සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 45ක් ලබා දීමට එකඟ වී ඇත.
ශ්‍රී ලංකා කොවිඩ් – 19 හදිසි අවස්ථා ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එකඟ වී ඇති මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 57.5ක් සහ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය යටතේ එකඟ වූ මුළු මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදල මේ වන විට මෙරටට ලැබී තිබේ.
ඊට අමතරව, ඇමරිකානු ඩොලර් මිලියන 8ක් පමණ වටිනා ද්‍රව්‍යමය ආධාර ජුනි 12 වන දින දක්වා ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇති බවත් කැබිනට් මණ්ඩලය සැලකිල්ලට ගෙන තිබෙනවා.
