වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ඇතුළු පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට තීරණය කර තිබේ.
2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පසුගිය රජයේ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු 6 දෙනෙකුට ලබන 15 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට තීරණය කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.
රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන් සහ ජේ.සී වැලිඅමුණ යන අයට මෙලෙස සිතාසි නිකුත් කෙරෙන බව සඳහන්.
මීට අමතරව, සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ රවී විද්‍යාලංකාර මහතාට ද ලබන 15 වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
