2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කළ චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (03) දින මාධ්‍ය වෙත සඳහන් කළේ, දැනට ලබාගෙන ඇති ප්‍රකාශ සහ සියලු සාක්ෂි අනුව එවැනි තරග පවා දීමක් ගැන කිසිඳු කරුණක් අනාවරණය වී නැති බවයි. ඒ අනුව, අදාළ විමර්ශනය සිදුකරන ක්‍රීඩා පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අදාළ විමර්ශනය තවදුරටත් පවත්වාගෙන නොයෑමට තීරණය කර ඒ අනුව විමර්ශන කටයුතු අවසන් කිරීමට පියවරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් අදාළ විමර්ශන සම්බන්ධයෙන් වු වාර්තාවක් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත බාර දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
විමර්ශන අවසන් කෙරෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් 2011 කාල සීමාවේ තේරීම් කමිටුවේ සභාපතිව සිටි අරවින්ද ද සිල්වා, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර හා එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
එම ප්‍රකාශවලින් අනාවරණය වු තොරතුරු අනුව හා එම ප්‍රකාශ සටහන් කළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව මෙම විමර්ශන ප්‍රගතිය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී පාවාදීමක් සිදුව ඇති බවට රූපවාහිනී වැඩසටහනක දී අනාවරණය කිරීමෙන් පසු හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ජුනි මස 24 වන දින ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ වු බව ද, මුලික වශයෙන් තරඟ පවාදීමක් සිදුවුයේ ද, එසේ සිදුවුවානම් එවැනි දෙයක් සිදුවුයේ ක්‍රීඩා බලධාරීන්ගේ අනුදැනුම මත ද යන්න පිළිබඳව මෙහිදී විමර්ශන සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
අද (03) උදෑසන කැඳවීමට නියමිතව සිටි මහේල ජයවර්ධනගේ පැමිණීම අවලංගු කර තිබූ අතර තමන් පරීක්ෂණවලට සහය දක්වන බව කියා සිටීමට මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබුණා.
කෙසේ වෙතත් ,අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් සහ ක්‍රීඩකයින් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි සමාජ විරෝධයක් මතුව තිබූ අතර පාර්ශව රැසක් කියා සිටියේ අදාළ පරීක්ෂණ මුලින්ම සිදුකළ යුත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් මිස ශ්‍රී ලංකා පොලීසියෙන් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ ක්‍රීඩකයින් පොලීසිය වෙත කැඳවීම තමන් ද අනුමත නොකරන බවයි. ඔහු සඳහන් කළේ ක්‍රිකට් වැරදි සෙවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුවක් ඇති බවත් වරදක් සිදු වී ඇත්නම් හෝ එවැනි සැකයක් ඇත්නම් එවැනි ආයතනයක් මගින් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.
