Advertise with Giraya
NEWS

වරාය සේවකයන් ඉල්ලීම් දිනා ගනියි, වර්ජනය අත්හිටුවයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුව වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟ වී තිබේ.

ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම ඉටු කරමින් චීනයෙන් ආනයනය කර දින 12කට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද ගාස්තු ගෙවමින් තිබූ ප්‍රශ්නගත ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය තුළ ගොඩබෑමට එම සාකච්ඡාවේදී එකඟ වී ඇති අතර ඊට අදාළ පියවර කඩිනමින් ගන්නැයි අගමැතිවරයා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

ආනයනය කරන ලද ග‍්‍රැන්ටි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවිකරන බවට මුලදී ප‍්‍රතිපත්තිමය තීරණයක සිටි වරාය ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ඇතුළු පාලනාධිකාරිය පසුව එම තීරණය වෙනස් කිරීම නිසා පසුගිය ජුලි 01 වන දින දහවල් වරාය වාණිජ කර්මාන්ත සහ ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සංජය කුමාර වැලිගම, ස්වාධීන සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ සහ වරාය මුදල් අංශ ස්වාධීන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් හර්ෂණ මධුරංග යන මහත්වරු දොඹකරයක් මත නැගී උපවාසයක ද නිරත වූහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ වෘත්තීය සමිති එකමුතුවේ වෘත්තීය සමිති විසිතුනකට අයත් සියලූම සාමාජිකයන් පසුව ඊයේ (02) දිනයේ දී වැඩවර්ජනයකට එක්ව සිටි අතර මේ හේතුවෙන් ඊයේ (02) දහවල් 12.30 සිට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මුළුමනින්ම ඇනහිට තිබිණි. මේ හේතුවෙන් කොළඹ වරාය තුළ මෙහෙයුම් කටයුතු සිදුකරන පෞද්ගලික අංශයේ මෙහෙයුම් ද සම්පූර්ණයෙන් නතර වී තිබිණි.

වැඩ වර්ජනය ආරම්භ කළ වරාය සේවකයන් වරාය අභ්‍යන්තර මාර්ගයේ සහ චෛත්‍ය පාරේ රැඳී සිටිමින් විරෝධතා දැක්වීම නිසා මහාමාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබුණි. කොළඹ වරායට ළඟා වෙමින් තිබූ කන්ටේනර් රථ කොළඹ වරායේ සිට ඉඟුරු කඩේ හන්දිය, තොටළඟ ඔස්සේ වත්තල ප‍්‍රදේශය දක්වා සිරවී තිබෙනු දක්නට ලැබිණි.

පවතින ගැටලූවට විසඳුමක් ලබා දී ආනයනය කරන ලද ග‍්‍රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරීන් පියවර නොගතහොත් තමන් අද (03) සිට දොඹකරය මත සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය වාණිජ කර්මාන්ත ප‍්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සංජය කුමාර වැලිගම මහතා පැවසීය.

පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වර්ජනයේ නිරත වෘත්තිය සමිති ප‍්‍රධානීන්ට සාකච්ඡාවක් සඳහා හම්බන්තොට පිහිටි මැදමුලන සිය නිවසට පැමිණෙන ලෙස ඊයේ (02) සවස දැනුම් දී තිබු අතර එම සාකච්ඡාවේදී චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමට එකඟතාවයකට පැමිණීමෙන් පසුව වර්ජනය අත්හිටුවීමට සේවකයින් තීරණය කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top