වත්මන් ආණ්ඩුව කෙළෙහි ගුණ නොදන්නා ආණ්ඩුවක් බවත් අගොස්තු 05 වන දා මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රටේ අගමැති විදියට රට විරුවන්ගේ වගකීම සම්පූර්ණයෙන් තමන් භාර ගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා වෙන්නප්පුව සහ නාත්තණ්ඩිය යන ප්‍රදේශවල පැවති ජනහමුවලදී ය.
එහිදී අදහස් දක්වමින් ඔහු, “තමුන්නාන්සේලා දන්නවා පසුගිය ජනාධිපතිවරණයේදී සිය දහස් ගණන් විදේශීය රැකියා කළ අය අපේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කරවීමට ලොකු සේවයක් කළා. ඒ කාලයේ විදේශීය ශ්‍රමිකයන්ට ලස්සන නමක් හැදුවා. ඒ රට විරුවන් කියලා.
අද ඒ රට විරුවා අමතක වෙලා. අද තිබෙන්නේ රට විරුවාට වටිනාකම ලබා නොදෙන යුගයක්. කොවිඩ් 19 නිසා අප රටේ රට විරුවන්, විදේශීය ශ්‍රමික ජනතාව පුදුම අසහනයකට පත්වී සිටින්නේ. කනගාටුයි කියන්න එදා ජනාධිපතිවරණයේදී මොකක්ද ජනතාව පොරොන්දු වුණේ කාර්යක්ෂම ජනතා සේවාවක්. විශිෂ්ට රාජ්‍ය පාලනයක්. අපි අහනවා විශිෂ්ට රාජ්‍ය පාලනය තුළ පොහොට්ටුවේ රාජ්‍ය බිහි කිරීමට අනභිභවනීය සේවාවක් කළ රට විරුවන්ව ඇයි මේ ආණ්ඩුව අමතක කරන්නේ.
රට විරුවන් නොවේ කොවිඩ් බෝම්බකරුවන් කියලා ඒ අය හඳුන්වා දුන්නා. කෙළෙහි ගුණ දන්නැති ආණ්ඩුවක්. කෘතගුණ සලකන්නෙ නැති ආණ්ඩුවක්. අගෝස්තු 5 වැනිදා ජයග්‍රහණය සමග මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා රටේ අගමැති හැටියට දේශීය ශ්‍රමික ප්‍රජාව, අපේ රටවිරුවන්ගේ සම්පූර්ණ වගකීම මේ සජිත් ප්‍රේමදාස භාරගන්නවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
මතක තබා ගන්න වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ ධීවර ප්‍රජාවට විශිෂ්ට සේවාවක් කිරීමට අපි සැදී පැහැදී ඉන්නවා. ඒ වගේ ම අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා නව ධීවර ප්‍රතිපත්තිය තුළින් තමුන්නාන්සේලා ශක්තිමත් කිරීමට.
අද මේ රටේ තියෙන්නේ වැඩ බැරි ආණ්ඩුවක්. ඇයි වැඩ බැරි ආණ්ඩුවක් කියන්නේ, රට ලොක්ඩවුන් කරන අවස්ථාවේ සැමන් වලට, පරිප්පුවලට පාලන මිලක් නියම කළා. වලංගු වුණේ දින 15ට පමණයි.
අකාර්යක්ෂම ආණ්ඩුවක්, අදක්ෂ වැඩ බැරි ආණ්ඩුවක්. සහල් මිල පාලනය කරගන්න බෑ සහල් මාෆියාව නිසා. රුපියල් 90ට නියම කළා මිල. නමුත් සහල් මාෆියාව විරුද්ධ වූ නිසා 90 නැග්ගුවා 98ට.
එපමණක් නොව තෙල් බැරලයක මිල පතුලට බැහැලා තියෙන මොහොතක අපේ රටේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා තෙල් මිල වෙනස් කරන්නේ නැහැ කියලා. 6 වැනිදා ආණ්ඩුව පිහිටුවලා පැය 24ක් තුළ තෙල් මිල අඩුකරලා ජනතාවට සහන ලබාදීමට මම පොරොන්දු වෙනවා.
අපි රුපියල් 20,000ක් පවුලකට ලබා දෙනවා. ඒ යෝජනාව පිටුපස දැවැන්ත ආර්ථික තර්කත් තියෙනවා. ඒ තර්කය තමයි මේ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ඒමට අනිවාර්යන් මූල්‍ය ශක්තිය ලබාදිය යුතුයි. මෙය සල්ලි බෙදීමක් නොවේ. මෙය මුදල් විසි කිරීමක් නොවේ.
මේක ආර්ථික දැක්මක් විශ්ලේෂණයක් තුළ හොඳ ආර්ථික දර්ශනයක් තුළ ක්‍රියාත්මක වන වැඩසටහනක්. අලුත් ක්‍රමවේදයක් තුළ ගමේ ජනතාවට බලය දීලා දූෂණ, වංචාව පිටුදැක ඉතාම ක්‍රමවත් ගම හදා රට නඟන යුගයක් අපි අනිවාර්යයෙන්ම බිහි කරනවා.
නිරෝෂන් පෙරේරා මැතිතුමා වැනි තරුණ නායකයෙක් විශිෂ්ට අධ්‍යාපනයක් තියෙන නායකයෙක් වෙන්නප්පුව දිස්ත්‍රික්කයෙන් උඩින්ම දිනවන්න කියලා මම ඉල්ලා සිටිනවා.
එපමණක් නොව කතෝලික ජනයා වෙනුවෙන් තලවිල දේවස්ථානයේ දැවැන්ත ප්‍රතිසංස්කරණය අලුත් ව්‍යාපෘතියක් අපි දියත් කළා. මඩු දේවස්ථානයේ ඒ සංවර්ධන වැඩකටයුතු දියත් කළා. කනගාටුවට කාරණාව ඒ සියලු වැඩසටහන් ඇනහිටිලා.
බෞද්ධාගමික වන්දනා කරන අප සියලුදෙනා අටමස්ථාන, සොළොස්මස්ථාන, දීඝවාපී, චෛත්‍ය පිළිසකර කිරීම් වැඩකටයුතු ආරම්භ කරලා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එහි උන්නතිය තකා අවුරුද්දක් විතර දැවැන්ත පියවර රැසක් සකස් කළා. මං ආරාධනා කරනවා මාධ්‍ය සහෝදරයන්ට අටමස්ථාන, සොළොස්මස්ථාන ඇතුළු දහම් පාසල් දහසේ ව්‍යාපෘතිය දැන් ගිහිල්ලා අධීක්ෂණය කරන්න.
එදා නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණයේ 69 ලක්ෂයක වරම ලබා දුන්නේ හොඳ දක්ෂ ආණ්ඩුවක් බිහිකර ගැනීමට. නමුත් 69 ලක්ෂයකගේ බලාපොරොත්තුව අද සුන්වී හමාරයි. මම තරයේ විශ්වාස කරනවා එළැඹෙන මහ මැතිවරණයෙන් අපේ රටේ ජනතාව ඓතිහාසික තීන්දුවක් දෙයි.“ යැයි පැවසුවා.
