Advertise with Giraya
NEWS

කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැක ගැනීමට සහය වන බවට ජනපති සහතික වෙයි

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ තුළ බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කරගැනීම සිදු වූ බවත් එමඟින් සෑම මට්ටමකම කලාකරුවාට සිය නිර්මාණ දායකත්වය දීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ගතවූ කාලයේදී සහ COVID වසංගතය නිසා මඟහැරුණු අවස්ථා යළි ඇතිකිරීමට පසුබිම සකසන බව එතුමා කියා සිටී.

Giraya News Alerts

කලාකරුවන් මුහුණු පා සිටින ගැටලු පිළිබඳව ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කෙරිණ.

9 ශ්‍රේණියේදී නතර කෙරෙන සෞන්දර්ය විෂය අධ්‍යයනය අ.පො.ස. (සා.පෙළ) දක්වා දරුවාට ඉගැන්වීමේ අවශ්‍යතාව මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දුන්නේය. එම යෝජනාව “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” වෙනුවෙන් වූ කාර්ය සාධක බලකා වෙත ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

දේශීයව හා විදේශීයව නිර්මාණකරුවාට හිමි කර්තෘ භාගය නොලැබීමට වූ හේතු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. විදේශීයව ඇමරිකානු ඩොලර් මිලියන 20කට අධික ප්‍රමාණයක් මේ හේතුවෙන් රටට අහිමි වී තිබේ. විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ගීත සඳහා ද කර්තෘ භාගය නොලැබීම පිළිබඳව කලාකරුවෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. මේ පිළිබඳව රාජ්‍ය මට්ටමෙන් ක්‍රියා කොට නිර්මාණකරුවාගේ අයිතිය රැකගැනීමට සහාය වන බවද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප්‍රකාශ කළහ.

කලාකරුවාට සහන පොළී අනුපාතයකට ණය මුදලක් ලබාදීමට රජය ගත් පියවර ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මඟින් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම කණගාටුදායක බවද පෙන්වා දෙනු ලැබිණ.

විදේශීය ටෙලිනාට්‍ය සඳහා බදු මුදලක් අය කර එය කලාකරු අධිභාරයකට බැර කිරීමේ වැදගත්කම ද කලාකරුවෝ පෙන්වා දුන්හ. විදේශීය චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්ථාව සැලසීමෙන් විදේශ විනිමය උපයා ගැනීම පිණිස ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. ග්‍රාමීය කලාකරුවන් පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමෙන් නියාමනය කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු සහ නිලධාරීහූ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීහූ, ගායක ගායිකාවෝ, ගීත රචකයෝ ඇතුළු කලා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top