NEWS

මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 50ක් ගොඩ කරන්න ව්‍යාපාරිකයෙකුගේ සූදානමක්

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , වෑවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටෙකෙයාගහ කුඹුරට යාව පිහිටි අක්කර 50ක් ගොඩ කිරීම සඳහා මේ වන විට මායිම් සලකුණු කරමින් පවතින බව වාර්තා වේ.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙන්නේ 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක් අත්පත් කර ගෙන නීති විරෝධීව නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා සූදානම් වූ මැල්වත්ත ප්‍රොපට් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමේ අජිත් පණ්ඩිතරත්න විසින් මෙම ඉඩම් වෙන් කිරිම සිදු කරන බවයි.

එමෙන්ම, මුතුරාජවෙල තෙත් බිම් ගොඩකරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මහා සැලසුමක කොටස් ලෙස මේ සියලු ඉඩම් අත්පත් කර ගැනීම, ගොඩ කිරීම්, හා ඉදිකිරීම් සිදු කරන බවට මේ වන විට තහවුරු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම අක්කර 50ක භූමියේ මේ වන විට මායිම් සලකුණු යොදා ඇති අතර ඒ සඳහා, ජා- ඇල ගොවිජන සේවා දෙපාර්තුමේන්තු කාර්යාලයේ ද සහය ලැබී තිබේ. මෙම ඉඩම් ගොඩ කිරීමෙන් අනතුරුව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.

මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත් බිමේ විශාල භූමි ප්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් ඉදි කළේ යමෙහි අහිතකර ප්‍රතිඵල බුක්ති විඳින්නේ වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැගූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතියි. එම කාලයට වසංගත රෝග බෝවීම ප්‍රදේශයේ උග්‍ර මට්ටමකට පත්වේ. දේශප්‍රාලඥයින්ගේ අඥාන තීරණවල අහිතකර ප්‍රතිභල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසන අසරණ ජනතාවයි.

2003 වසරේ දී මෙවැනිම ඉඩම් බෙදා දීමක් ප්‍රදේශයේ දේශපාලඥයෙනු වූ හිටපු පාර්ලාම්න්තු මන්ත්‍රී ඕලිත ප්‍රේමතිරත්න විසින් සිදු කෙරණීත ඔහු විසින් මුතුරාජවෙල තෙත් බිමේ කිදිගොඩ ප්‍රදේශයේ අක්කර 100ක පමණ තෙත් බිම් ප්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය. එහෙත් සීමාසහිත පාරිසරික පදනම මඟින් ලබා ගත් අධිකරණ තීන්දුව මත පදිංචි වූ ජනතාවට සිදු වූයේ ටික දිනකින්ම ඉන් ඉවත් වී යාමටය. දේශපාලකයින්ගේ ව්‍යාජ සැලසුම් වලට මුලා වූ ජනතාවට වියදම් කළ මුදල ද අවසානයේ අහිමි විය.

2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලිස්ක්ස් පෙරේරාගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඬුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශ්‍රිත ව පිහිටි අක්කර 10 ක් පමණවන විශාල කඩොලනා දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ණ දෙපාර්තුමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිකයකින් ද සහයෝගය ලබා ගැනිණි. පසුව එය ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් නවතා දැමිණ.

මේ අතරතුර, මුතුරාජ තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින්ම ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මෙම තෙත් බිමේ අක්කර 5ක භූමියක් ගොඩ කර දිනකට කසල මෙට්‍රික් ටොන් 400ක් බැහැර ලන සනීපාරක්ෂණ කසළ රඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අප්‍රේල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මීට අමතරව මෙම තෙත් බිමේ අක්කර 10ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය දිනවල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟම කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිමය. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ මුතුරාජවෙළ තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බවය.

මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ විශාලතම ලවණ ආශ්‍රිත වගුරු බිමයි. සමස්ත මුතුරාජවෙල ප්‍රදේශයම තෙත් බිම් සංකීර්ණයක් ලෙස හැඳින්විය හැකිය. දැනට සිදු කරන ලද අධ්‍යනයන්ට අනුව ජෛව විද්‍යාත්මකව ඉතාමත් වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් ලෙස හැඳින්විය හැකිය. එනම්, කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදියේ ලවණ ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පඳුරු වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර ඒ අතර වේ.

මෙම විවිධ වූ පරිසර පද්ධතිවල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194ක් වාර්තා වන අතර සමනළුන්, බත් කූරන්, මත්ස්‍යයින්, උභය ජීවින්, පක්ෂීන් හා ක්ෂීරපායින් යන සත්ව කාණ්ඩ 7කට අයත් විශේෂ 449ක් පමණ වාර්තා වේ. ඉන් විශේෂ 27ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ.

රුපියල් මිලියන දහස් ගණන් වැය කරමින් මුතුරාජවෙල සංරක්ෂණයට සැලසුම් සකස් කර වසර ගණනාවක් ආරක්ෂා කරන ලද භූමියක් ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය පරිදි විනාශ කිරීමට අවස්ථාව ලබා දී බලා සිටීමට රජයට හෝ කිසිදු සිවිල් පුරවැසියෙකුට අයිතියක් නැත. මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් ආර්ථික හා දේශපාලන බලය හිමි පුද්ගලයෙකුට හිතුමනාපයට විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ දිය යුතු නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top