FOREIGN

ඉන්දියාවේ කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ එන්නත මිනිස් අත්හදා බැලීමට සූදානම්

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දියාවේ නිපද වූ එන්නතක් සතුන් යොදාගෙන කරන ලද පරීක්ෂණයන්හි දී සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර ජූලි මාසයේ දී එය මිනිස් අත්හදා බැලීම් සඳහා යොදා ගැනීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ මේ වන විට ආයතන හයක් පමණ කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ සායනික පරීක්ෂණයන් 120ක් පමණ සිදු කරන අතර එයින් එක් ආයතනයක් වන ‘භාරත් බයොටෙක් (Bharat Biotec)’ ආයතනය විසින් මේ අයුරින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන ඇත.

බී.බී.සී පුවත් සේවය වාර්තා කරන අන්දමට ජුලි මාසයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් යොදා ගෙන සායනික මානව අත්හදා බැලීම් සඳහා ඉන්දියාවේ ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර ලබා දී තිබේ.

ඒ අනුව, ප්‍රධාන පියවර දෙකකට අනුව මෙම අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. එම අත්හදා බැලීම් දෙක සැලසුම් කර ඇත්තේ එන්නත ඵලදායී ද යන්නට වඩා ආරක්ෂිතද යන්න පරීක්ෂා කිරීම සඳහා ය.

මෙම එන්නත කොවැක්සින් (Covaxin) ලෙස හඳුන්වන අතර එය ඉන්දියාවේ ජාතික වෛරස් විද්‍යා ආයතනය සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සමඟ එක්ව දේශීයව නිපදවා ඇති බව භාරත් බයෝටෙක් හි සභාපති වෛද්‍ය ක්‍රිෂ්ණා එලා පවසයි.

ලොව ඖෂධ හා එන්නත් නිපදවන රටවල් අතර ඉන්දියාව ද ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර පෝලියෝ, මෙනින්ජයිටිස්, නියුමෝනියාව, රොටාවෛරස්, බීසීජී, සරම්ප, රුබෙල්ලා වැනි රෝග සඳහා මාත්‍රාවන් නිපදවන ප්‍රධාන රටක් වේ.

සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම සඳහා වසර ගණනාවක් ගත වන අතර විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට බොහෝ දුරට 2021 වර්ෂයේ මැද භාගය වන විට කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට හැකි වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top