Advertise with Giraya
POLITICS

අපිට අවශ්‍ය අරලියගහ මන්දිරය අපිට ලබා ගැනීමටයි – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය රජය ලබා ගැනීමට, එනම් අරලියගහ මන්දිරය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා. එමෙන්ම, සිරිකොත ඇතුළේ හිඳගෙන සිරිකොතේ බලය ලබා ගැනීමට නොහැකි වූ පිරිස එළියේ සිට එහි බලය ලබා ගැනීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තවද, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ජීවත්වීමට නොහැකිව සිටින ජනතාවට ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට ආණ්ඩුව විසින් ක්‍රිකට් පාවාදීම, එම්.සී.සී. ගිවිසුම ඇතුළු මාතෘකා කිහිපයක් කරළියට ගෙනත් ඇති බව ද අකිල විරාජ් කාරියවසම් පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ද මෙවැනි බිල්ලන් මවා ජනතාව නොමග යැවීමට කටයුතු කළ බවත් එම න්‍යායම මහා මැතිවරණයටද යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු “මේ ආණ්ඩුව එම්. සී. සී. ගිවිසුම ගැන සොයන්න පත්කළ කමිටුව ගැන අපිට විශ්වාසයක් නැහැ. මේ කමිටුව තමයි මුලින්ම එම්. සී. සී. ගිවිසුමේ සියයට 70 ක් හොඳයි කියල කිව්වේ. දැන් ගිවිසුම හොඳ නැහැ කියන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව නිසයි. අපි රජයට අභියෝගයක් කරනවා. මේ ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියලා ජනතාවට ස්ථිරවම කියන්න කියලා.

ආණ්ඩුව හිතන්නේ සල්ලි අච්චු ගහලා රටේ ආර්ථික ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලයි. රුපියල් 5000 ක් දුන්නෙත් දේශපාලනීකරණය කරලයි. අපිට එම්. සී. සී. ගිවිසුම අත්සන් කළා කියලා චෝදනා කළාට අපි එම ගිවිසුම අත්සන් කළේ නැහැ. අපි අත්සන් කරලා තිබුණ නම් මේ ආණ්ඩුව ආයිත් අත්සන් කරනවාද නැද්ද කියලා කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ. අපිට චෝදනා කළාට ජනතාව ගිවිසුමට එරෙහිව චෝදනා කළ නිසා තමයි අපි ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවනු ලැබුවේ. නැවත අපි බලයට පැමිණියත් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න කටයුතු කරනවා.

අපිට අවශ්‍ය රජය අපිට ගැනීමටයි. ඒ කියන්නෙ අරලියගහ මන්දිරය අපිට ලබා ගැනීමටයි. සිරිකොත ඇතුලේ ඉඳගෙන සිරිකොත අල්ලගන්න බැරි වෙච්ච අය එළියේ ඉඳලා කොහොමද අල්ලන්නෙ කියලා මම අහනවා. ඒ අයට බහුතරය තිබුණ නම් පක්‍ෂයේ මහ ලේකම් වෙච්ච මට ඒ ගැන ලිඛිතව දීලා පක්‍ෂ නායකත්වය වෙනස් කළ යුතුයි කිව්වා නම් මම ඒ සඳහා අවස්ථාව ලබාදෙනවනේ. අපිට චෝදනා කරන පිරිස් සිරිකොතේ ඉන්න කොට කරඬුව ගෙනියන ඇතා සමඟ ඉන්න විදියට හැසිරිලා ගමට ගියාම වල් අලින් වගේ හැසිරෙනවා.” යැයි පැවසුවේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top