මේ වන විට රටේ බලය ලබා ගෙන ඇත්තේ යුද්ධය උතුරට රැගෙන එන ලද පිරිස බැවින් යුද්ධයෙන් හානියට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ වගකීම ඇත්තේ ද එම රජයට බව හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.
ඇය මේ බව පැවසුවේ පසුගියදා (27) කිළිනොච්චියේ දී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින්ය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ කාලවකවානුවේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යුද්ධය ගෙන ආ බවත්, ඒ හේතුවෙන් එම පළාත්වල වැසියන්ගේ ජීවිත හා දෙපළ විශාල වශයෙන් විනාශ වී ගිය බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය මෙහිදී පැවසුවාය.
මෙසේ විනාශ වී ගිය ජනතාවට අයත් දේපළ සඳහා වන්දි ගෙවීමක් තවමත් නිසි ලෙස සිදු නොවූ බව කී ඇය උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය ද යුද්ධය නිසා විශාල වශයෙන් පසුබෑමකට ලක්වූ බව ද කියා සිටියාය.
මේ නිසා ජනතාවගේ යහපත ගැන සිතා උතුරු නැගෙනහිර පළාත් වත්මන් රජය විසින් සංවර්ධනය කර ජනතාවට සහන ලබාදිය යුතු බවත් විජයකලා මහේෂ්වරන් වැඩිදුරටත් පැවසුවාය.
