සහශ‍්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව විසින් සිදුකරන ලද මහජන මත විමසුමට අනුව යෝජනාවලියට අදාළ ගිවිසුම අත්සන් කරනවාට සියයට හැත්තෑපහක් (75%ක්) විරෝධය පළකර ඇත. ගිවිසුම අත්සන් කරනවාට එකඟතාව පළකර ඇත්තේ සියයට එකොළහක් (11%ක්) පමණි.
මෙම මත විමසුම සඳහා විද්වත් සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ආයතන සහ සාමාන්‍ය ජනතාව යොදාගෙන තිබෙන අතර ගිවිසුම අත්සන් නොකළ යුතු බවට සෘජුවම සියයට පනස් හතක් (57%ක්) විරෝධය පළකර ඇත. ගිවිසුම අත්සන් කළ යුතු බවට සෘජුවම පවසා ඇත්තේ සියයට හතක් (7%ක්) පමණි.
එම්.සී.සී. ගිවිසුම සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2020 ජනවාරි මස 01 වැනිදා විශේෂ විමර්ශන කමිටුවක් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් පත්කරන ලදි.
මෙම කමිටුවේ සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටී. ලලිතසිරි ගුණරුවන් මහතා කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් ලෙස ප‍්‍රවාහන අර්ථ ශාස්ත‍්‍රඥ ඞී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරු පත්ව සිටියහ.
මෙම කමිටුවෙහි අවසන් වාර්තාව පසුගිය 25 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
සම්බන්ධිත පුවත්
- MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව මෙන්න
- MCC ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී නැහැ – ඇමරිකානු තානාපති කාර්යාලය කියයි
