Advertise with Giraya
NEWS

යහපාලන සමයේ රජයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සොයන්න කමිටුවක් පත් කිරීමට අගමැති තීරණය කරයි

ලංකා බැංකු සේවක සංගමය විසින් සිදු කරන ලද ඉල්ලිමකට අනුව යහපාලන සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලංකා බැංකු සේවක සංගමය සමඟ ඊයේ (26) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මෙම තීරණයට එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර පැවැති එම සාකච්ඡාවේ දී රාජ්‍ය බැංකුවල පවතින ගැටලු පිළිබඳ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බවටත් ප්‍රතිඥා දී ඇත.

එසේම, රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයන් විශ්‍රාම යාමේ දී විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර ඒ ගැන අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබා දීම කමිටුවක් හරහා ඉක්මනින් සිදුකිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.

රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්‍ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්‍ය බැංකු සේවකයන්ට ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමණාකාරිත්වයේ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය විසින් කරුණු දැක්වූ අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ, ඒ ගැන මුදල් අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙසයි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර, වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ, ලංකා බැංකු සේවක සංගමයේ (Ceylon Bank Employees’ Union) සභාපති චන්න දිසානායක මහත්වරුන් ඇතුළු එම සංගමයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top