Advertise with Giraya
NEWS

‘ඒ කාලෙදි වුණ දෙයක් මම මැතිවරණ ප්‍රචාරණයේ දී උපමාවට ගත්තා’ – කරුණා අම්මාන්

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේය.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් අම්පාර, නාවිදන්වැලි ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, ‘කොරෝනාවට වඩා තමන් භයානක බව කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශයක් කර ඇති’ බවය.

“කාර්තිව් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියලා තියෙනවා, කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා. එයා කියපු එක ඇත්ත. කොරෝනා ඇවිල්ලා මැරුණේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදි 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනව නේ ද? එයා කියපු එක කිලිනොච්චිවලත් කී දාහක්ද?,” කරුණා අම්මාන් එහිදී කළ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාලිකාවල විකාශය කෙරිණ.

Giraya News Alerts

තමන්ට මෙවර ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා දිය හැකි බවට මහින්ද රාජපක්ෂ දැනුම් දුන්න ද, මෙවර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යාමට තමන් තීරණය කළ බව ද ඔහු එහිදී පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ මත භේදයන්ට තුඩු දුන් හේතුවක් වූ අතර මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් ජුනි 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. ඒ අනුව, ජුනි 23 වන දින ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

නමුත්, අසනීප තත්ත්වයක් හේතුවෙන් තමන්ට එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණීමට නොහැකි බවත් සුව වූ පසුව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබුණි. ඒ අනුව දින 02කට පසුව අද (25) පෙරවරු 10.40 ට පමණ කරුණා අම්මාන් සිය ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

පැය 7 කට ආසන්න කාලයක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් පිටව ගියා. එහිදී, අදහස් දක්වමින් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙසේ පැවසීය.

“මම වුණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යයෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරෙයි අපි ප්‍රචණ්ඩත්වයෙන් හා වර්ගවාදයෙන් තොරව මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා.“

ප්‍රශ්නය -ඔබේ ප්‍රකාශය ගැන දේශපාලනඥයින් ඔබට චෝදනා කරනවා ඒ ගැන මොනාද කියන්නේ?

විනයාගමූර්ති මුරලිදරන් -“ඒක වැරදියි. ඒ කාලේ වුණු දෙයක් මම මැතිවරණ ප්‍රචාරයේදී උපමාවට ගත්තා. මේක ලොකුවට ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. අපේ රජයට අපේ සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න ගන්න වැඩපිළිවෙලක් .මේක අපි ජයගන්න ඕනේ.“

ප්‍රශ්නය -“ඔබේ අදහස ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනවා හරි කිව්වද?“

විනයාගමූර්ති මුරලිදරන් – “අපි අම්පාර දිස්ත්‍රික්කයේ තනි දෙමළ පක්ෂයක් විදිහට තරග කරනවා. මම හිතන විදියට කිසිම පක්ෂයක හෝ පූජකවරු හෝ රිද්දවන විදිහට අපි කතාකරලා නැහැ.ඒ වගේම හමුදා ගැන අපි අවතක්සේරුවෙන් කතාකරලා නැහැ.අපේ හමුදාව බහුවිධ ජයග්‍රහණයක් කරලා තියෙනවා.ඒ වගේම ව්‍යසන අවස්ථාවලත් අපේ හමුදාව කැපවෙලා කටයුතු කරලා තියෙනවා ඒ හින්දා හමුදාව කවදාවත් මම අවතක්සේරු කරලා කතා කරලා නැහැ.“

මේ අතර දමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (25) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහේපතිරණ මහතා විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ කරුණා අම්මාන් සිය ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවය.

සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව පෙත්සම්කරු පැවසීය.

මේ අතර විනයාගමූර්ති මුරලිදරන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට අද (25) විරෝධතාවක නිරත වුණි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top