උතුරු සහ දකුණු කොරියානු දේශයන් අතර විරසකය උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙයට ආසන්නතම හේතුව වූයේ දින කිහිපයකට පෙර දකුණු කොරියාව විසින් කොමියුනිස්ට් ක්‍රමයට විරුද්ධ පත්‍රිකා සිය රට තුළ සංසරණය වීමට සැලැස්වීමයි.
දකුණු කොරියාව කළ දේට එකට එක කිරීමක් වශයෙන් එරට තුළ දේශපාලන ප්‍රචාරණ පත්‍රිකා මහා පරිමාණයෙන් බෙදාහැරීමට පියවර ගන්නා බව උතුරු කොරියාව ප්‍රකාශ කර සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි කෝපය පළ කර තිබිණි. “සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති බව දකුණු කොරියානු පාලකයන් දැනගත යුතුය. අනුන්ට කළ දේ තමන්ට සිදු වන විට එය කෙබදු දැයි ඔවුන් අවබෝධ කරගන්නවා ඇත” යනුවෙන් උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය වන KCNA ප්‍රකාශ කළේය.
දේශසීමාව අසල තම රටට අයත් ප්‍රදේශයට ගුවන් බැලූන මඟින් විෂම අදහස් වපුරන පත්‍රිකා විසුරුවා හැරීම ගැන උතුරු කොරියාව, දකුණු කොරියාවට දෝෂාරෝපණය කර තිබූ අතර යුදමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට තර්ජනයක් ද කර තිබිණි. මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර සන්නිවේදන කටයුතු වෙනුවෙන් යොදාගනු ලැබූ මධ්‍යස්ථානය ද උතුරු කොරියාව විසින් පුපුරුවා විනාශ කරන ලදී.
දෙරට අතර ද්විපාර්ශ්වික සංවාදය භාරව සිටින දකුණු කොරියානු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව තුළ දේශපාලන පත්‍රිකා බෙදාහැරීමට ක්‍රියා කළහොත් උතුරු කොරියාවට ඒ ගැන අතිශයින් කනගාටු වීමට සිදු වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.
