Advertise with Giraya
NEWS

තවත් කඳුකර කොටි දෙදෙනෙකු මදුවලට හසුවෙයි

එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි පැන්තරා පාදුස් වර්ගයට අයත් කදුකර කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුව ඇතැයි වනජීවී නිලධාරීන් පවසනවා.

මදුවලට හසුව සිටි මෙම කොටියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නාවිටත් මිය ගොස් සිටි බවත්, අනෙක් කොටියා තුවාල ලබා ඇති බවත් වාර්තා වන අතර මියගොස් සිටි කොටියා අඩි හයක් පමණ දිග තරුණ වයසේ පසුවූ ඉතාමත් නිරෝගී සතෙකු බවද වනජීවී නිලධාරීන් පවසනවා.

මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් කොටියා නිර්වින්දය කොට ප්‍රතිකාර කොට වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා නුවරඑළියට රැගෙන යාමට වනජීවි නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දඩයක්කරුවන් විසින් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පවසනවා.

උඩරට කදු ප්‍රදේශ ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කොටියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙක්ද පසුගිය දා ශ්‍රි පාද රක්ෂිතයට ආසන්නයේ තේ වතු ආශ්‍රිත ප්‍රදේශයකදී මන්දකට හසුවීම නිසා මිය ගිය බවද වනජීවී නිලධාරීන් පවසනවා.

මදුගසා කොටි මරාගැනීමේ සිද්ධීන් රාශියක් වාර්තා වූ අතර එසේ වාර්තා නොවී හොර රහසේ කරන ලද දඩයම් ප්‍රමාණය කිසිසේත් වාර්තා නොවී පවතිනු ඇති බවත් ඒවා දන්නේ දඩයක්කරු පමණක් විය හැකි බවත් පරිසරවේදියකු මෙන්ම සත්ව සංරක්ෂකවරයකු ද වන රුක්ෂන් ජයවර්ධන මහතා පවසයි. මේ අනුව දැනට පවතින දත්තවල වලංගුභාවය පිළිබඳ විශ්වසනීයත්වයක් නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

මධ්‍ය කඳුකරයේ දී මදුවලට අසුවී සිටින කොටි මුදාගැනීමේ දී මියයන්නට හේතුව ඒ සඳහා පැමිණෙන නිලධාරින් අදාල ස්ථානයට ළගාවීම ප්‍රමාදවීම බවත් වහා පිළියම් යෙදිය යුත්තේ ඒ සඳහා බවත් ජයවර්ධන පෙන්වා දෙයි.

එම නිසා වහාම වනජීවී කාර්යාලයක් මධ්‍ය කඳුකරයේ ආරම්භ විය යුතු බවත් එහි පශූ වෛද්‍ය අංශයේ නිලධාරින් ඇතුළු මනා පුහුණුවක් ඇති කුඩා කණ්ඩායමක් සිටිය යුතු බවත් පෙන්වා දුන් ජයවර්ධන මහතා එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්විමට සූදානමින් සිටිය යුතු බවත් පවසයි.

වනසත්ව ගහණයේ කොටියා වැනි සුවිශේෂී සතුන් රැකගන්නට නම් ඉහත කී කරුණු ගැන වහා අවධානය යොමු විය යුතු බවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කිසිසේත්ම නොගැලපෙන බවත් ඔහු කියා සිටියි.

මෙම කරුණු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන්ට අවස්ථාවක් ලදහොත් එය සිදුකරන බවත් මේ වනතුරුත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top