යුද පිටියේ සිටිය යුතු සරත් ෆොන්සේකා වැනි යුද විරුවන් නොදන්නා දේශපාලනයට පැමිණීම තමන් දේශපාලනයෙන් සමුගැනීමට එක් හේතුවක් වූ බව හිටපු ඇමති මංගල සමරවීර පවසයි.
මංගල සමරවීර දේශපාලනයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට වාසියක් බව පසුගියදා සරත් ෆොන්සේකා විසින් සිදු කරන ලද ප්‍රකාශය පළ කරමින් පුවතකට ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර තම ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
එම සටහන පහතින් දැක්වේ.
හිතවත් සරත්,
ඔබගේ දේශපාලන පාරාජිකභාවය මගේ නමට බැර කිරීමට දරණ උත්සාහය පිළිබඳ පළමුව කණගාටු වෙමි.
ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.
අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැළණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.
වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.
මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.
රනිල්ට පින් සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…
”අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.”
නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.
අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.
ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධපිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”
– මංගල සමරවීර
