Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තැපැල් ඡන්ද අයදුම්පත් 47,000කට වැඩි ගණනක් ප්‍රතික්ෂේපයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව, අයදුම්පත් 47,952 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මෙවර මහ මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් 753,037 දෙනෙකු තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර ඇති අතර ඉන් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව හිමිව ඇත්තේ 705,085ක ප්‍රමාණයකට වේ.

ප්‍රතික්ෂේපිත අයදුම්පත් අතුරින් වැඩි ප්‍රමාණයක් ජන්ද විමසීම් දින ජන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරින් වේ.

Giraya News Alerts

එකම තැනැත්තෙකු විසින් ඉල්ලුම්පත් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සේවා ස්ථාන දෙකකින් ඉදිරිපත් කිරිම, තොරතුරු ප්‍රමාණවත් නොවීම, තොරතුරු නිවැරදි නොවීම යනාදී හේතුන් මත ඉල්ලුම්පත් වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ජුලි 14, 15, 16 සහ 17 යන දින ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින් සඳහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 20 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විටත් අවසන් කර ඇති අතර මෙම සතිය අවසානය වන විට සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කිරීමට හැකිවනු ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක් මිලියන 17ක් ආසන්න ඡන්ද පත්‍රිකා මුද්‍රණය පසුගිය දෙවනදා ආරම්භ කෙරුණි.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්වීමට අදාළ පෙරහුරු මැතිවරණ මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඊට අදාළව ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් ද සංවිධානය කිරීමට කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ යටතේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (23) ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු වැඩසටහනක් පැවැත්වුණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top