Advertise with Giraya
NEWS

මෙවර ඇසළ පෙරහැරේ බිම දිගා වී නර්තනයට අවසර නැහැ

ආශිර්වාද ලබා ගැනිම පිණිස පැමිණෙන නරඹන්නන්ගෙන් තොර වූ මෙවර මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය සදහා වන කප් සිටුවීම ජූලිමස විසිවැනි දින සිදුකෙරෙන අතර විසිහතර වැනි දින තෙක් සිව්මහා දේවාල ඇතුල්පෙරහර පැවැත්වේ.

පළමු කුඹල් පෙරහර ජූලිමස විසිපස්වැනි දින වීථි සංචාරය කරන බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා කියා සිටියේය. ජූලිමස තිස්වැනි දින පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර අගෝස්තු තුන්වැනි දා පොහොය දින අවසන් රන්දෝලි පෙරහර වීථි සරනු ඇත.

දළදා මැදුරේ විශේෂ රැස්වීම් ශාලාවේදි අද (19දා) පවැති පෙරහර කමිටු රැස්වීමේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, අගෝස්තු මස හතරවැනි දා අලුයම දියකැපීමේ මංගල්‍යයද එදින දහවල් පෙරහර වීථි සංචාරය කොට පස්වරු 4.41ට නැවත දළදාමාළිගයට ගෙවැදිමෙන් පෙරහර නිමා කිරිමටද අනතුරුව වස් ආරාධනා කොට පෙරහර නිමකිරිමේ චාරිත්‍රානූකූලව මහනුවර ජනාධිපති මැදුරේදි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට පෙරහර සංදේශය භාර දීමට සැලසුම් කර ඇති බව ද දියවඩන නිළමේවරයා ප්‍රකාශ කළේය.

මෙවර අගෝස්තු පස්වැනි දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් මහනුවර අතිශය කාර්යය බහුලත්වයක් පැවතීමට ඉඩ ඇති බවද , අගොස්තු පස්වැනි දින මාළිගයේ විශේෂ කාර්යයක් වන දළදා මාළිගාවේ තේවාව භාරකාරත්වය මල්වතු භාරකාරිත්වය අස්ගිරි පාර්ශවයට පැවරීමේ චාරිත්‍රානුකූල උත්සවය පැවැත්වෙන බවද මේ සියලු කටයුතු සෞඛ්‍ය උපදෙස් මත සිදුකිරිමට බැදී සිටින බවද දියවඩන නිළමේ නිලංග දෑල මහතා කියා සිටියේය.

මෙවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන සියළුම කලාකරුවන් හා ඇත්ගොව්වන් දෛනික වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීමට පියවර ගෙන ඇති බවත් අවම කලාකරුවන් පිරිසක් සහභාගී කර ගෙන පෙරහැර පැවැත්වීමටත් කටයුතු කරන බවත් දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

මීට අමතරව, මහනුවර ඇසළ පෙරහරට සහභාගිවන නර්තන ශිල්පීන්ට කරනම් ගැසීම බිම දිගා වී රඟ දැක්වීම සදහා අවසරයක් නැති බව දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය කෙලබිදිති මගින් බෝවන අතර සෙසු වෛරසවලට වඩා බරින් යුතු බැවින් එය බිම වැටි තිබිය හැකි බැවින් මෙම තීරණය ගැනිමට සිදුවන බවද ශිල්පීන් එක්දහස් පන්සියයක් පෙරහරට සහභාගි විම අවදානම් තත්ත්වයක් බැවින් නර්තන හා වාද්‍ය ශිල්පීන් මුඛවාඩම් (marsk ) භාවිත කිරිමද අනිවාර්යය බව ද වෛද්‍ය ජයසිංහ මහතා පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top