Advertise with Giraya
NEWS

යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර

වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපාහැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ. එසේම, තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද(18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ය.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණ බවත් ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට එම වැඩපිළිවෙළ ඉවහල් වූ බවත් එහිදී සඳහන් කළේය.

Giraya News Alerts

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බවත් ජාතික ණය ප්‍රමාණය ඉහල ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු නමුත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව එයින් අදහස් නොකරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ තම අභිලාෂය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙහිදී සඳහන් කළේය. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම ක්ෂේත්‍රයේ නවීකරණය කිරීම බැවින් කාබනික පොහොර, ගුණාත්මක බීජ සහ දියුණු තාක්ෂණය හඳුන්වා දීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා පෙන්වා දුන්නේය.

නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යාම හේතුවෙන් ටින් කිරීම සහ නැවුම් නිෂ්පාදන වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතයෙන් නිපදවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝපා සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු කළේය. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට දොරගුලු විවර කර දීමේ අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීමේ තම අභිලාෂය පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනයෙහි නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය පනත් මේ වනවිට සංශෝධනය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස තම රටවලට මෙම ක්ෂේත්‍රයන්හි දී ශ්‍රී ලංකාවට සහාය වීමේ විවිධ ක්‍රම පිළිබඳව ද දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top