Advertise with Giraya
NEWS

ජයිකා සමාගම සංවර්ධන ව්‍යාපෘතිවලින් ඉවත් වී නැහැ – අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු

වත්මන් රජය ‘MCC ගිවිසුම’ (Millennium Challenge Corporation) අත්සන් කිරිමට සැරසෙන බවට සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වන නමුත් එවැනි කිසිදු තීරණයක් රජය විසින් ගෙන නොමැති බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

පසුගිය රජය සමයේ මේ සම්බන්ධයෙන් වාර්තාවන් අදාළ සමාගම් වෙත ඉදිරිපත් කර ඇති නමුත් වත්මන් රජය මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, කිසිදු රටක් හෝ බහුජාතික සමාගමක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ නීතියට පරිබාහිර වන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට පැමිණීමට වත්මන් රජය කටයුතු නොකරන බව බන්දුල ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේය. ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පෙර පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව, මෙරට පෞද්ගලික රෝහල් සමූහයක් මඟින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට රජයේ අනුමැතිය හිමි වී ඇති බවට පළවන ප්‍රවෘත්තිය ද සාවද්‍ය බවට බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් වාර්තා කරන්නේ යම්කිසි ආයතනයක් පිළිගත් උසස් අධ්‍යාපනයක් ආරම්භ කිරිමට අදහස් කරන්නේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පළමුකොට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු බවත් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම පෞද්ගලික රෝහල් සමූහය මඟින් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල සිසුනට සිය ආයතනය වෙතින් පුහුණු අවස්ථා ලබා දීම සඳහා පසුගිය කාලයේ දී ඔවුන්ගේ අභ්‍යන්තර එකඟතාවයක් වශයෙන් තීරණය කර ඇත් අතර,එවැනි පුහුණු අවස්ථා ලබා දීම සාමාන්‍ය පටිපාටිය යටතේ සිදු කෙරේ. නමුත් කිසිදු අයුරකින් මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ අවසර ලබා දීමක් හෝ එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

තවද, ජාත්‍යන්තර ‘ජයිකා’ (Japan International Corporation Agency) ආයතනය විසින් ලංකාවට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම අත්හිටුවා ඇති බවට පළවන ප්‍රවෘත්තිය ද මුළුමනින්හ අසත්‍ය ප්‍රවෘත්තියක් බව ද අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ දී අවධාරණය කරන ලදී. ජයිකා ආයතනය රජය සමඟ ඉතාමත් අවබෝධාත්මකව ප්‍රශස්ත අන්දමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම එම ආයතනයට අදාළ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් වී ඇති බවත් එකී සියලු ව්‍යාපෘතීන් අඛණ්ඩව සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

එබැවින් ජනතාව නොමඟ යවන මෙවැනි පදනම් විරහින අසත්‍ය ප්‍රවෘත්ති රජය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top