පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාක් අහමඩ් යන අය සමඟ බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව සබඳතා පැවැත්වූවේ යැයි සඳහන් කරමින් මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු නීතිඥවරයකු වූ හිජාස් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් විසින් පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ ළමයින්ට කියැවීමට ලබාදුන් තවරසම් නමැති ග්‍රන්ථයක් සහ එම පොතේ ඉංග්‍රීසි, සිංහල පරිවර්තනයන් 2ක් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා සහ යොවුන් මනෝ චිකිත්සකවරයා වෙත යොමුකරන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17දා) නියෝග කළේය.
අදාළ පොත මඟින් එම පොත පරිහරණය කළ ළමයින්ගේ මනසට බලපෑමක් හෝ ප්‍රචණ්ඩත්වයක් ඇතිවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අදාළ පොත සහ එහි පිටපත් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා හා යොවුන් මනෝ චිකිත්සකවරයා වෙත යොමු කෙරිණි.
සැකකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා නිරීක්‍ෂණය සඳහා හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඔහු නිරීක්‍ෂණය සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 01 දා නිකුත් කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා තීරණය කළේය.
කිංග්ස්බරි හෝටල් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන ඉන්සාෆ් අහමඞ් නමැත්තාගේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ඞී. වී. ඞී. පට කිහිපයක් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමටද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
සිය සේවාදායකයා වන නීතිඥ හිජාස් හිස්බුල්ලා පෙර කී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇතත් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කළ හැකි කිසිදු සාක්‍ෂියක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව එම සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැවසීය.
කිංග්ස්බරි බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් නමැත්තා පාර්ශවකරුවකු වූ සිවිල් නඩුකර දෙකකට නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිටීම පමණක් සිදුකර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා එම නඩුකර දෙක ද 2014-2015 වසරවල දී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සිය සේවාදායකයා වෙත යොමු කළ නඩු දෙකක් බව කියා සිටියේය.
